Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලාඕ රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපතිනිය අක්ත පත්‍ර භාරදෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තායිලන්තයේ නේවාසික ශ්‍රි ලංකා තානාපතිනී සමන්තා කේ. ජයසුරිය මහත්මිය ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේද සම අක්ත ගැන්වූ ශ්‍රී ලංකා තානාපතිතුමිය ලෙස ඉකුත් පෙබරවාරි 07 වෙනිදා ලාඕ රාජ්‍යයේ අගනුවර වන වියන්තියාන්හි ‘හෝකම්’ ජනපති මන්දිරයේදී ලාඕ රාජ්‍යයේ ජනපති බොන්හන්ග් වොරචිත් මහතා වෙත අක්ත්‍රපත්‍ර භාර දුන්නාය.

තානාපතිනී  ජයසූරිය මහත්මිය ලාඕ රාජ්‍යයේ ජනාධිපතිතුමන් වෙත අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන්ගේ සුභාශිංශන පිරිනමා සිටි අතර පැවති  කෙටි සාකච්ඡාව අතරතුරේදී, ථේරවාද බුදුදහම මත පදනම් වූ ශක්තිමත් සහ පොදු සමාජ-සංස්කෘතික සහ ආගමික සම්ප්‍රදායන්ගෙන් බැඳුණු දෙරට අතර සහයෝගිතාව වැඩිදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව එරට ජනපතිතුමන් දන්වා සිටියේය.

දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවේද බලාපොරොත්තුව බව ස්ථීර කරමින් ලාඕ-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55 වන සංවත්සරය 2020 වසරට යෙදී තිබෙන බව සිහිගැන්වූ තානාපතිනී ජයසූරිය මහත්මිය, එකී ද්වීපාර්ශ්වික සබඳතා අලුත් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන මෙන් ලාඕ ජනපතිතුමන් වෙත ශ්‍රී ලංකා රජයෙන් කර ඇති ආරාධනය යළි සිහිපත් කළාය.

ශ්‍රි ලංකා තානාපතිතුමිය සිය සංචාරය අතරතුරේදී ලාඕ රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ,තොරතුරු, සංස්කෘතික හා සංචාරක අමාත්‍ය මෙන්ම කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා-පැසිපික් කටයුතු සහ ආසියාන් සබඳතා අංශයන්හි උසස් නිලධාරීන්ද, හමුවී දෙරට අතර ද්වීපර්ශවීය දේශපාලන සාකච්ඡාවල පළමු වාරය ආරම්භ කිරීම, ආසියාන් සංවිධානයේ Sectoral Dialogue Partnerships (SDP) හි සාමාජිකත්වය ලබාගැනීම, ලාඕ රාජ්‍යයේ කෘෂිකර්ම, සෞඛ්‍යය, ඉංග්‍රීසි භාෂා හැකියා වර්ධනය, දහම් පාසල් ක්‍රියාත්මක කිරීම,සංචාරක හා වෙළඳ අංශයන්ට සම්බන්ධ ක්ෂ්‍රේත්‍රයන්හි ධාරිතා වර්ධනයට අතහිත දීම පිළිබඳ සාකච්ඡා පැවැත්වූවාය.

සංචාරය අතරතුරේදී තානාපතිනී සමන්තා ජයසූරිය මහත්මිය ලාඕ රාජ්‍යයේ බෞද්ධාගමික ප්‍රවර්ධනය සහ සුරක්ෂිත්භාවයට අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතනය වන  Lao National Front (LNF) හි අධ්‍යක්ෂතුමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවන්ගෙන් අනතුරුව ලාඕ හි ජාතික සළකුණ වන වියන්තියාන් අගනුවර පිහිටි තට් ලුඅන්ග් විහාරස්ථානයේදීද, සි-සාකෙත් සහ ඔන්ටු විහාරස්ථානයන් හිදීද, ඒවායේ ප්‍රධාන සංඝනායක හිමිවරුන් සමඟ දහම් අධ්‍යාපනය නැංවීම, ලාඕ ජාතික භික්ෂූන්ට ඉංග්‍රීසි අධ්‍යාපනික පුහුණුව ලබාදීම, දෙරට අතර භික්ෂු දූත පිරිස් සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳ සාකාච්ඡා කළාය.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය  මගින් බෞද්ධ සිද්ධස්ථානයන්හි සංචාරයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ අංගයක් ලෙස මහනුවරදී පැවැත්වීමට නියමිත මෙවර වෙසක් උත්සවයට සහභාගීවෙන ලෙසද තානාපතිතුමිය එම නායක ස්වාමින්වහන්සේලාට ආරාධනා කළාය.

තානාපතිනී සමන්තා ජයසුරිය මහත්මිය වන්ග් වියන්ග් පළාතේ වන සංරක්ෂණ හා වන වගා ව්‍යාපෘතියක්ද, කෘෂිකර්ම, සංචාරක ක්ෂේත්‍ර බිම් කිහිපයකද සංචාරය කළ අතර, කෘෂි-ආර්ථික, හරිත-සංචාරක, තේ පර්යේෂණ හා තාක්ෂණ ආදී, ලාඕ රාජ්‍යයේ සංවර්ධන ව්‍යාපෘතීන්ට ශ්‍රී ලංකාවේ සහය ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බැලුවාය.තානාපතිතුමිය ලාඕ හී වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද හමුවූ අතර ලාඕ එයාර් ලයින් සභාපතිතුමන්ද, සත්කාරක සහ සංචාරක කර්මාන්තයේ ආයෝජකයන්ද මුණගැසී සාකච්ඡා පැවැත්වූවාය. බැංකොක් හි තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සරිතා රණතුංග මෙනෙවියද, වියන්තියාන්හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් මනිලායි තිපලෙන්සි මහත්මියද මෙම අවස්ථාවන්ට සහභාගී වූවාය.

තානාපතිනී සමන්තා ජයසූරිය මහත්මිය ශ්‍රී ලංකා විදේශ සේවයේ 1998 කණ්ඩායමට අයත් වන අතර, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක් මෙන්ම, ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා පිළිබඳ පශ්චාත් උපාධි පාසලෙන්ද, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන්ද උසස් අධ්‍යාපනය හදාරා ඇත.

thailand

Scroll to Top