ඉතිහාසයේ සිදුව ඇති වැරදිවලට ඇඟිලි දිගු කිරීම වෙනුවට ඒ සියල්ලෙහි වගකීම භාරගනිමින් රටේ වර්තමානය හා අනාගතය නිවැරදි කිරීමේ සම්ප්රදාය රටේ වත්මන් නායකයා විසින් හඳුන්වා දී ඇති බවත්, ඒ අනුව කටයුතු කිරීම තම ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පානලුව වටරැක රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ පැවති නිදහස් දින පැළ සිටුවීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
අප ජාතික නිදහස් දිනය වසරක් පාසා සමරන නමුත් සැබැවින් ම අප තවමත් නිදහස් ව නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා, රටේ අධ්‍යාපනය තවමත් නිදහස් නොවන බව ද, එසේ නිදහස් ව පවතී නම් සෑම මහජන දිනයක දී ම දෙදහසකට වැඩි පිරිසක් පාසලකට දරුවෙක් ඇතුළත් කරගැනීමට රටේ අධ්‍යාපන අමාත්‍යවරයා හමුවට පැමිණීමට අවශ්‍ය නොවන බව ද, අප රටක් වශයෙන් තවමත් එපමණට ම ගෝත්‍රික ව සිටින බව ද සඳහන් කළේය.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ද තවමත් නිදහස් ආයතනයක් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා වාර්ෂික ව මෙම ආයතනයේ ශුද්ධ අලාභය රුපියල් මිලියන 452ක් බව ද, එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මුද්‍රණ කටයුතු සඳහා පමණක් වාර්ෂික ව රුපියල් බිලියන 6කට ආසන්න මුදලක් වැය කරන බව ද පෙන්වා දුන්නේ ය. මේ තත්වයන් හදුනාගනිමින්, රටට යහපත් නායකයෙක්, විශිෂ්ට දර්ශනයක් ලැබී ඇති මේ මොහොතේ නිදහසේ වැඩෙන, නිදහසේ වැඩකරන, නිදහසේ හැඩකරන රටක් ගොඩනැගීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පෝස්ටර්, කටවුට් බැනර්වලින් තොර ව මැතිවරණය පවත්වමින් ශ්‍රී ලාංකීය මැතිවරණ ක්‍රමය පරිසරයට ආදරය කරන මැතිවරණයක් බවට පත්කර රටට ආදර්ශයක් ලබාදෙන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කටයුතු කළ බව ද මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා, ගෝඨාභය ජනාධිපතිතුමන් යටතේ මේ රටේ පරිසරය නිදහස් බව ද ප්‍රකාශ කළේය.
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සහ වියත්මග සංවිධානය විසින් මෙම පැළ සිටුවීමේ ජාතික වැඩසටහන සංවිධානය කර තිබූ අතර, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජනක රත්න කුමාර මහතා, මහාචාර්ය සරත් කොටගම මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිතුමන්ගේ දැක්මට හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයාගේ සංකල්පයකට අනුව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රාජ්‍ය අංශයේ ප්‍රථම හරිත කර්මාන්ත ශාලාව බවට පත්කිරීමට, එනම්, ලංකාවේ පළමුවැනි කාබන් ශුන්‍ය රාජ්‍ය ආයතනය බවට පත්කිරීමට ද ඉදිරියේ දී සැලසුම් කර තිබේ.