ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව අද (17) පස්වරු 3.45ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කෙරිණි.
රාවණා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය.
එය පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් ඉහළින් කක්ෂගත කර තිබේ.
එහි අවම ආයු කාලය අවුරුදු එකහාමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා ක්‍රියා කළ හැකි බවට විශ්වාස කරයි.
මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර් 7.6කි.
මෙම චන්ද්‍රිකාව රාවණා 1 යනුවෙන් නම් කරන ලද්දේ, ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය.
රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් පහත දැක්වේ
- ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
- ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
- චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
- කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම(active attitude stabilization) පිළිබඳව අත්හදා බැලීම.
- පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම