Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගිය නුවන ඇතුන් ලවාම ඇද්දවූ රුවන්පුරයේ ඇත් රජුගේ ගුණ සැමරුම ජනවාරි 01දා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එක්සත් ජාතික පක්‍ෂයේ උප නායකවරයෙකු, පක්‍ෂයේ මහ ලේකම්වරයෙකු, හිටපු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල දිවංගත ගාමිණි අතුකෝරළ මැතිතුමාගේ 18 ගුණ සැමරුම 2020 ජනවාරි මස 01ට යෙදී තිබේ.

එතුමාට පිං අනුමෝදන් කිරීම සදහා පවත්වනු ලබන විශේෂ ධර්මානුශාසනාව කහවත්ත පනාවැන්න එතුමාගේ නිවසේදී කෝට්ටේ පාර්ශ්වයේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක අමුතාගොඩ ඉන්දරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර පසු දින මහා සංඝරත්නය උදෙසා පිරිනමනු ලබන දානමය පිංකමක් එතුමාගේ නිවසේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

2020. 01. 01 වැනි දින සවස රත්නපුර නිවිතිගල ආසනයේ, කිරිබත්ගල ශෛල දර්ශනාරාම විහාරස්ථානයේ දහම් පාසල් දරුවන්ට හා කිරිබත්ගල විද්‍යාලයේ දරු දරියන්ට පාසල් පොත් සහ උපකරණ පරිත්‍යාග කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබේ.

ගිය නුවන ඇතුන් ලවාම ඇද්දවූ රුවන්පුරයේ ඇත් රජු දිවංගත, ගාමිණි අතුකෝරළ මහතා

ජයග්‍රහණයේ අයිතිකරුවන් බොහෝදෙනෙකු සිටි නමුත් පරාජය හමුවේ නැවත ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සහ කරන පිරිස් ඉතා අසීරු වේ.
ගාමිණි අතුකෝරළ නම් අපූර්වතම මිනිසාගේ නම වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ එක්සත් ජාතික පක්‍ෂය පරාජය වී නැවත කිසිදාක එ.ජා.ප ආණ්ඩුවක් බිහි නොවනු ඇතැයි සමහරු සිතූ යුගයක ඒ සියළු මත අභිබවා තම පාක්‍ෂිකයා වෙනුවෙන් කැපකල සොඳුරු මිනිසෙකු ලෙසයි.

ගාමිණි අතුකෝරළ තම දේශපාලනයේ අත් අකුරු තබන්නේ 1973 වර්ෂයේදී අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා, ගාමිණි අතුකෝරළ නම් වූ දේශපාලනයේ දුරගමනක් යා හැකි තරුණයාට නිවිතිගල ආසනයේ සංවිධායක ධූරය පවරන්නේ එ.ජා.ප.ය තුළ හෙට දවසේ එ.ජා.පය තුළ දුර ගමනක් යා හැකි තරුණයෙකු ලෙස හඳුනාගත් නිසාමය.

එවක අගමැති ජේ.ආර්.ජයවර්ධන මහතා නායකත්වය ලබාදුන් එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස එක්වන්නේ තම පවුල් පරිසරයෙන් ලද ආභාෂය නිසාවෙනි.

එ.ජා.පය තුළ ලලිත්-ගාමිණි දෙපළ සිය පක්‍ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපකිරීම් සිදුකරන අතරතුර ගාමිණි අතුකෝරළ තම දායකත්වය ලබාදෙන්නේ හැමවිටම තම අරමුණ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් තම දායකත්වය ලබාදීමේ අපේක්‍ෂාව ඇතිවයි.

ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ගාමිණි අතුකෝරළ තරුණයාට විශාල වගකීමක් ලබාදෙන්නේ මෙම කාලසීමාව තූල එනම්, එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලකොටුවක් වී තිබූ නිවිතිගල ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ අපේක්‍ෂකයා ලෙස තරග කිරීමේ භාරදූර වගකීම පවරන ලදී.

අභියෝග හමුවේ නොසැලී කටයුතු කරන තරුණ ගාමිණි අතුකෝරළ නිවිතිගල ආසනයේ තම දේශපාලන ක්‍රියාකාරකම් ආරම්භ කරන්නේ ඉතා කටුක, අමිහිරි මතක සටහන් සහිතවයි.

එවක පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයේ මර්ධනකාරී පාලනයෙන් බැට කමින් සිටි නිවිතිගල ජනතාව ගාමිණි අතුකෝරළ නම්, මෙම කඩවසම්, මුඛරි, එඩිතර තරුණයා වටා එක්රොක් වෙමින් සිටියහ.

1977 පැවති මහ මැතිවරණයේ, නිවිතිගල ආසනයේ ඡන්ද 17450ක් ලබාගනිමින්, එවක ලාබාලතම මන්ත්‍රිවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඔහු එතැන් පටන් දේශපාලනයේ ස්ථාවර බව තහවුරු කරගැනීමට සමත් විය. 1977 බලපැවැත්වූ එ.ජා.ප.ආණ්ඩුවේ යෞවන කටයුතු හා රැකී රක්‍ෂා නියෝජ්‍ය අමාත්‍යධූරය ඔහුට හිමිවන්නේ තරුණයින් වෙනුවෙන් අලුත් යමක් සිදුකිරීමට ඇති හැකියාව මනාව හඳුනා ගනිමිනි. එම අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍ය ධූරය වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය.

රනිල් ගාමිණි සුසංයෝගයෙන් මේ හරහා බිහිවන්නේ දූපත් මානසික මට්ටමෙන් මිඳී තරුණ තරුණියන්ට හෙට දිනය දිග්විජය කිරීමේ අවස්ථාව නිර්මාණය කර දීමටයි.

ජාතික තරුණ සේවා සභාව බිහි කිරීම හරහා යෞවන සමාජ සංකල්පය ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන රනිල් ගාමිණි යුවල එජාපයේ තරුණ ශක්තිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කැපවී වැඩ කළේය.

රුවන්පුරයේ ජනතාවගේ ගාමිණි අතුකෝරළ නාමය සටහන් වන්නේ නොකැලැල් පරපුරක උරුමයද සමඟයි.

1989 වර්ෂයේ එජාප ජයග්‍රහණය සඳහා කැපවූ ගාමිණි අතුකෝරළ මැතිතුමා එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට මහත් ශක්තියක් වෙමින් කටයුතු කළේය. “ගාමිණි අතුකෝරළ වැනි අය මට ඉතාම වටිනවා.

ඔහුට අනාගතයක් තියෙනවා. ඒ නිසා මම නිසිතැන ඔහුට දෙනවා.” ලෙස වරක් ප්‍රේමදාස ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඔහුගේ පැවති දේශපාලනයේ දුරදිග පිළිබඳ පෙර නිමිති පළකරමිනි.

වර්ෂ 1989 දී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය ඔහුට හිමිවිය. මහවැලි ගොවිජනපද බිහිකිරීමේදී සුවිශේෂී නායකත්වයක් දෙමින් තම අමාත්‍ය ධූරයේ වගකීම ඔහු නොපිරිහෙලා ඉටු කළේය.

රටට බත සපයන ගොවියාට ජාතික වශයෙන් විශාල මෙහෙවරක් ඔහු ඉටු කරන අතර, තම මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්ද අනගි මෙහෙවරක් ඉටුකළේය.

අමාත්‍ය ගාමිණි දිසානායක, අමාත්‍ය පී.දයාරත්න යන අමාත්‍යවරුන් මහවැලි සංවර්ධන අමාත්‍යශය හරහා ඉටුකල සේවය තවදුරටත් කරගෙන යාමේ වගකීම 1990 වර්ෂයේ ගාමිණි අතුකෝරළ මහතාට පවරමින් ඉඩම්, වාර්මාර්ග හා මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ඔහුට හිමිවිය.

ජනතා සේවකයෙකු ලෙස සමාජයේ පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදීම දේශපාලඥයෙකුගේ පරම යුතුකම ලෙස සැලකූ ඔහු අලුයම 3 වන විට තම අමාත්‍යංශයට ගොඩවදින්නේ සිව්දෙසින් පැමිණි ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා මහජන දිනය පැවැත්වීම සිදුකළේය.

වචන වලින් සෙල්ලම් නොකොට ප්‍රයෝගිකව තම දේශපාලනය සිදුකල උදාර මිනිසෙකු ලෙස ජනතාව ඔහු හඳුනාගත්තේ ඒ නිසාවෙනි.

මහවැලි ගොවීන්ගේ ප්‍රශ්න හඳුනාගැනීම සඳහා ජනපති ජංගම සේවාව ආරම්භ කිරීම තුළින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විසිරී ගිය මහවැලි ගොවීන්ට සෘජුවම තම ගැටළු අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට හැකියාව උදාවූ අතර, අහිංසක ජනතාවට මෙය මහත් අස්වැසිල්ලක් විය.

මහවැලි ගොවීන්ගේ දුවාදරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන් ආරම්භ කිරීම සඳහා 1993 වර්ෂයේ මහවැලි පදනම පිහිටුවීම සඳහා ගොවීන්ගේ වී බුසලක් ලබාගත් අතර, අමාත්‍යංශයේ සේවකයින් දිනක වැටුප මෙම අරමුදලට පරිත්‍යාග කළහ.

කෝටියක මුදලින් මෙම අරමුදල ස්ථාපනය කල අතර, සාමාන්‍ය පෙළ, උසස්පෙළ සමත් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම මේ සමඟ ආරම්භ විය.

එක්සත් ජාතික පක්‍ෂයේ සෑම නායකයෙකු යටතේම ඔහු අවංකවත්, කාර්ය ශූරවත් තම වගකීම මනාව ඉටුකළේය. තමන්ට පැවරෙන වගකීම මනාව හඳුනාගත් ඔහු එජාපය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තම ජීවිත කාලයම කැප කළේය.

1993 වර්ෂයේදී වන සම්පත් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය ධූරය ගාමිණි අතුකෝරළ මහතාට හිමිවිය.

1994 වර්ෂයේ එජාපයට ආණ්ඩු බලය අහිමි වන අතර, විපක්‍ෂයේ අසුන් ගන්නා ගාමිණි අතුකෝරළ මැතිතුමා විපක්‍ෂයේ කාර්යභාරය මනාව හඳුනාගනිමින් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නිවැරදි මානයකින් සකස් කිරීමේ වගකීම භාරගත්තේය.

දිනෙන් දින පක්‍ෂය හැරයන පාක්‍ෂිකයා වගේම පැවති මර්ධනකාරී ප්‍රචණ්ඩත්වය හමුවේ තැලී පොඩිවී සිටි පාක්‍ෂිකයා වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කළේය.

1995දී එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශක්තිය ලබාදෙමින් පක්‍ෂයේ මහලේකම් ධූරයට පත්විය. දේශපාලන පළිගැනීම්වලට ලක්වී සිටි, සිරබත් කමින් සිටි තම පාක්‍ෂිකයින් බැලීම සඳහා දිවයිනේ සියළුම බන්ධනාගාරවලට ගොස් පෞද්ගලිකව ඔවුන්ගේ සුවදුක් බැලීම තම යුතුකමක් ලෙස සැලකූ ඔහු පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත් කිරීමට වගබලා ගත්තේය.

වාමාංෂික අදහස්වලින් යුක්ත නිවිතිගල ආසනය තුළ එජාප පාක්‍ෂිකයාට විවිධ හිරිහැර පැවති රජය මඟින් සිදුවන විට ඊට නොබියව මුහුණ දුන් ඔහු සැමවිටම තම පාක්‍ෂිකයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් තම ජීවිත කාලයම කැපකළේය.

“ගිය නුවන ඇතුන් ලවාම ඇද්දවිය යුතුයි” හේතු පාඨය සකස් කරගනිමින් පසුබැස සිටි එ.ජා.ප.යේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස මහන්සි විය. ඒ අනුව පැවති ආණ්ඩුව ඉක්මණින් ගෙදර යැවීමේ අරමුණෙන් සතර දිග්බාගේ සිටි පාක්‍ෂිකයා කොළඹට එක්රොක් කරගැනීමට “ජනබල මෙහෙයුම” දියත්කල ගාමිණි අතුකෝරළ මැතිතුමා දේශපාලනයෙන් තම පෞද්ගලික ධනය එක්රැස් නොකොට තම පුද්ගලික ධනය පවා කැප කළේ දේශපාලනය වෙනුවෙන්ය.

එජාප පාක්‍ෂියා ජීවිත පරිත්‍යාගයෙන් තම පක්‍ෂය ආරක්‍ෂා කිරීමටත්, ආණ්ඩු බලය පෙරලීම සඳහා ගම් මට්ටමෙන් ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කිරීමේ නියමුවා වූයේ ගාමිණි අතුකෝරළ මැතිතුමායි. ඔහු ජීවිතයේ ලාභ ප්‍රයෝජන කිසිවක් නොසැලකූ අතර, පරමාදර්ශි දේශපාලඥයෙකු ලෙස කටයුතු කළේය.

පරාජය හමුවේ නොසැලෙන අයෝමය ශක්තිය වූ අතුකෝරළ මැතිතුමා දිගින් දිගටම තම පක්‍ෂය රැකගැනීමට දිවා රෑ වෙහෙසෙමින් අතිමහත් තාඩන පීඩන හා මරණ තර්ජන හමුවේ මහා හස්ති රාජයෙකු ලෙස කටයුතු කරමින් 2001 එජාප ආණ්ඩුවත් ඇතිකිරීමේ හැකියාව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට හා ගාමිණි අතුකෝරළ මැතිතුමාට හැකිවිය.

රුවන්පුර ජනතාවගේ ආදරණීය ඇත් රජු යන නමින් ආදරයට, ගෞරවයට පාත්‍ර විය. 2001 ආණ්ඩුව ගෙදර යැවීමේ අරමුණෙන් අතුකෝරළ මැතිතුමාට පක්‍ෂයේ උප නායකත්වය හිමිවන්නේ තවදුරටත් එජාපයට ඔහු මූලිකව සාධකයක් බව මනාව පැහැදිලි කරමින්.

2001 රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ධූරයේ වැඩ භාරගන්නා විට ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා කැබිනට් අමාත්‍ය ධූරයට ගාමිණි අතුකෝරළ මහතා පත්විය.

එජාප පාක්‍ෂිකයාත්, සමස්ථ ශ්‍රී ලාංකිකයිනුත් නව රජය පිලිබඳ බලාපොරොත්තු පොඳිබැදගෙන සිටියේ පැවති අදූරදර්ශි පාලනය පරාජය කරමින් කටයුතු කල ගාමිණි අතුකෝරළ මැතිතුමා පිළිබඳ ජනතාවගේ බලාපොරොත්තු වැඩි විය.

ශ්‍රී ලාංකේය ජන සමාජය වෙනුවෙන් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අනුපමේය මෙහෙයක් ඉටුකල මේ අසාහය, ප්‍රතාපවත්, දේශපාලන නායකයා 2002 ජනවාරි 01 දින හිරු උදාවන විට සිය ජනතා මෙහෙවර අවසන් කර අවසන් හුස්ම වාතලයට මුසු කරමින් ජාතියෙන් සමුගත්තේය.

පරමාදර්ශී ජීවන ගමනේ සොඳුරු මිනිසෙකුගේ සමුගැනීම මුළු සමාජයම බලාපොරොත්තු නොවූවද, ජීවන අභියෝගයට අවසන් තිත තැබිමට සිදුවිය.

වසර 17ක් ඉක්ම ගොස් පැවතියත් මහත්මා දේශපාලනය පිලිබඳ සිහිගැන්වීමේදී මුලින්ම සිතට නැගෙන නම ඔහු විය. ඉතිරි කරදුන් බොහෝ දේ පවතී.

ඒ සියල්ල ආරක්‍ෂා කිරීම, වැඩිදියුණු කිරීමට වගකීමක් සෑම දෙනාටම පවතී. නොකැලැල් පරපුරක උරුමය සැබැවින් ආරක්‍ෂා කර ගත යුතුවේ.

එම රික්තය පිරවීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු සහිතව බලාගෙන හිඳිමු.

රුවන්පුරයේ ඇත්රජු පිළිබඳව ජනතාවගේ ප්‍රාර්ථනය වනුයේ නැවතත් අප අතර ඉපදී කල කී දේ තවදුරටත් ඔහුට කිරීමට හැකිවේවායි යන අපේක්‍ෂාව සිත තුළ පොඳි බැඳගෙන පවතී.

Scroll to Top