Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පවුල් 400ක් අසිරුතාවයට පත් කල රන් මාවත් සහ මග නැගුම ව්‍යපෘතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉකුත් රජයේ රන් මාවත් සහ මග නැගුම ව්‍යපෘතිය යටතේ  නාවලපිටිය සමනලගම  හරහා ඉගුරුඔයට පිවිසෙන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමේ වැඩ කටයුතු  ආරම්භ කර එම සංවර්ධන කටයුතු මේ වන විට අතරමග නතර කර සංවර්ධනය කටයුතු සදහා භාවිතා කල යන්ත්‍ර උපකරණ සියල්ලම කොන්ත්‍රාත්කරු විසින් නැවත රැගෙන ගොස් ඇති බව එම මාර්ගය භාවිතා කරන ප්‍රතිලාභින් කියා සිටියි.

නාවලපිටිය මඤ්ඤොක්කාවත්ත , සමනලගම , ඉගුරුඔය යන ප්‍රදේශවල පදිංචි පවුල් 400 ක් පමණ එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය නොකිරිම නිසා දැඩි අසිරුතාවයට පත් වි සිටියි.

ඉකුත් රජයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම මාර්ගයේ කිලෝමිටර 7 ක් දුර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිම සදහා රු ලක්ෂ 400 ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

වසර 40 කට වැඩි කාලයක් එම මාර්ගය අබලන්ව තිබිම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා ප්‍රදේශවාසින් එක්ව ඉකුත් රජය සමයේ අවස්තා කිහිපයකදි සිදු කරන ලද උද්ඝෝෂන හේතුවෙන් එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිම සදහා ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමේ කොන්ත්‍රාත්තු ලබා ගත් කොන්ත්‍රාත්කරු විසින් මාර්ගය කොන්ක්‍රිට් ගල් පමණක් අතුරා මාර්ගය පිලිසකර කර ඇතත්, ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග බිම අතුරා තිබු කොන්ක්‍රිට් ගල් සේදි ගොස් එම මාර්ගයේ ස්ථාන කිහිපයකම මාර්ගයේ කොටසක් නායගොස් ඇති අයුරු ද දක්නට ලැබේ.

දැනට මාර්ගයේ පවතින තත්වය මත එම මාර්ගයේ ගමන් ගන්නා ප්‍රදේශවාසින් මෙන්ම ත්‍රිරෝද රථ රියදුරන් , යතුරුපැදිකරුවන්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.

මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු අතරමග නතර කිරිම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුගෙන් අප කල විමසුමක ඔහු කියා සිටියේ එම  මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමට වෙන් කල ප්‍රතිපාදන තමන් වෙත නොලැබෙන නිසා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම අතරමග නතර කල බවයි.

එම ප්‍රතිපාදන ලැබෙන්නේ නම් එම මාර්ගයේ සංවර්ධන කටයුතු යලිත් ආරම්භ කල හැකි බවද කොන්ත්‍රාත්කරු කියා සිටියා .

එම මාර්ගය භාවිතා කරන මහ සංඝරත්නය සහ ප්‍රදේශවාසින් කියා සිටින්නේ ජනාධිපතිවරණයට ප්‍රථම එම මාර්ගයේ සංවර්ධන කටයුතු නතර කල බවත්, වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය මේ පිලිබදව යොමු කර අදාල මාර්ගය කඩිනමින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසද එම මාර්ගය භාවිතා කරන ප්‍රදේශවාසින් ඉල්ලා සිටියි.

Scroll to Top