ඉන්දීය සුපිරි තාරකාවක් වන රශ්මිකා මන්දනාට අලුත් තනතුරක් හිමිවෙලා. ඒ, සයිබර් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික තානාපතිනිය හැටියට.
රශ්මිකාට මේ සන්නාම තානාපතිකම ලබාදීලා තිබුණෙ, සයිබර් අපරාධ මැඩලීම සඳහා ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුලපිරීමක් වන ඉන්දීය සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්.
ඔබට මතක ඇති ගෙවුණු කාලයේ අවස්ථා කිහිපයකදීම රශ්මිකා මන්දනා වැඩි කතාබහට ලක්වෙන්න ගත්තා.
ඊට ප්‍රධාන වශයෙන් ම හේතු කාරණා වුණේ, ඇගේ මුහුණ භාවිතා කරලා Deep Fake තාක්ෂණය යොදාගෙන සකසපු වීඩියෝ පටයක්.
ඒ වගේම එලෙස සැකසූ තවත් ඡායාරූප කිහිපයකුත් කතාබහට ලක්වෙන්න ගත්තා.
කොහොම නමුත් මේ දේවල් එක්ක ‘සද්ද වහලා පාඩුවේ ඉන්න’ ක්‍රමයෙන් බැහැරව, රශ්මිකා ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීම වඩාත් කැපී පෙනෙන්න ගත්තා.
හරියටම කිව්වොත් ඇගේ ඒ උත්සාහයන්, අර වීඩියෝ සහ ෆොටෝස්වලටත් වඩා වයිරල් වුණා.
“මට ඇත්තටම හරි දුකයි මෙහෙම ලියන්න වෙච්ච එක ගැන.
ඩීප් ෆේක් කියන දේ මොනතරම් නම් දියුණු ද කියන එක අපි හැමෝම නොදන්න දෙයක් නෙවෙයි.
මට විතරක් නෙවෙයි වෙන කෙනෙක්ට වුණත් මේ වගේ දෙයක් නිසා මොනතරම් ලොකු බලපෑමක් ඇතිවෙනවද? ඒක දරාගන්න හරිම අපහසුයි….”
”මේ දේට මම වෙනුවෙන් පෙනී සිටි හැමදෙනාටම මම ඉතාම ස්තුතිවන්ත වෙනවා.
මම ඉස්කෝලෙ යන කාලෙක මෙහෙම දෙයකට මූණ දෙන්න වුණා නම් මොනවද කරන්නෙ කියන එක ගැන මට හිතාගන්නවත් බෑ…”
ඒ තමයි රශ්මිකාගේ වචන.
කොහොම නමුත් මේ සිදුවීම් සහ ඇය ඊට මුහුණ දුන්න අපූරුව, ඇයව සයිබර් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික තානාපතිනිය ලෙස නම් වෙන්න ප්‍රබල හේතුවක්.
මොකද රශ්මිකා මුහුණ දුන්නු තත්ත්වය එක්ක, Deep Fake තාක්ෂණයෙන් කෙරෙන ව්‍යාජ වීඩියෝ ගැනත් ඩිජිටල් ආරක්ෂාව ගැනත් පුළුල් සාකච්ඡාවක් ඇති වුණා.
ඒ වගේම ඇයත් විවිධ අවස්ථාවල සයිබර් අපරාධ ගැන දැනුවත් කිරීම් සිදුකරලා තිබුණා.
ඉන්දීය වාර්තාවන්ට අනුව, නව තනතුර සමඟ ඇය සිය පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව සයිබර් අපරාධවල අන්තරායන් පිළිබඳව දැනුවත් කිරීම සහ සයිබර් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරනු ඇති.
සිය නව භූමිකාව ගැන රශ්මිකා මෙලෙස අදහස් දක්වා තිබුණා,
“සයිබර් අපරාධ යනු ලොව පුරා පුද්ගලයන්ට, ව්‍යාපාරවලට සහ ප්‍රජාවන්ට බලපාන භයානක තර්ජනයක්.
මෙය අත්විඳ ඇති අයෙකු ලෙස, මෙම ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සහ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා සයිබර් ආරක්ෂාව පිළිබඳ පණිවිඩය ප්‍රවර්ධනය කිරීමට මම කැපවී සිටිමි. මෙම තර්ජනවලට එරෙහිව සටන් කිරීමට සහ අපගේ ඩිජිටල් අවකාශයන් ආරක්ෂා කිරීමට අපි එකට එකතු වීම ඉතා වැදගත්.
අප ජීවත් වන්නේ ඩිජිටල් යුගයක වන බැවින් සයිබර් අපරාධ සර්වකාලීනව ඉහළ මට්ටමක පවතී.
එහි බලපෑම අත්විඳ ඇති අයෙකු ලෙස, අපගේ ලෝකය ආරක්ෂා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ ඇතැයි මම විශ්වාස කරමි.
අපටත් අනාගත පරපුරටත් ආරක්ෂිත සයිබර් අවකාශයක් ගොඩනඟා ගැනීමට එක් වෙමු.
මම I4C සඳහා සන්නාම තානාපතිවරයාගේ භූමිකාව භාර ගන්නා බැවින්, සයිබර් අපරාධ සම්බන්ධව බොහෝ දෙනා දැනුවත් කිරීමට සහ ආරක්ෂා කිරීමට මට අවශ්‍යයි.
එසේ නම්, මට සහ ඉන්දීය රජයට ඔබ වෙනුවෙන් උදවු කිරීමට ඉඩ දෙන්න…”