Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉරානය විශාල වරදක් සිදුකරගනියි

බෙන්ජමින් නෙතන්යාහු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉරානය ඊයේ (01) රාත්‍රියේ විශාල වරදක් සිදුකරගත් බවත්, ඔවුන් ඊට වන්දි ගෙවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි.

ඔහු සඳහන් කළේ ඊශ්‍රායල භුමිය ආරක්ෂා කරගෙන, සතුරන්ගෙන් පලිගැනීමට ඊශ්‍රායල වැසියන් සතු අධිෂ්ඨානය ඉරාන පාලන තන්ත්‍රය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ඉරාන හමුදාව විසින් ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් ඊයේ (01) රාත්‍රියේ මිසයිල ප්‍රහාර 200ක් පමණ එල්ල කළේ ය.

මෙම ප්‍රහාර වලට මුළු ලෝකයේම අවධානය යොමු වූ අතර අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධියේම තමන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට සහයෝගය පල කරන බව ප්‍රකාශ කළේ ය.

ඉරාන ප්‍රහාර මාලාවට සුළු වෙලාවකට පෙර ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද කෙරුණු අතර ජෙරුසලමේ සහ ටෙල් අවිව් අගනුවර පිපිරීම් වාර්තා විය.

කෙසේ වෙතත්, ඉරානයේ මිසයිල ප්‍රහාර බහුතරයක් සාර්ථකව මැඩ පැවැත්වූ බව ඊශ්‍රායල රජය පසුව නිවේදනය කළේ ය.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සදහන් කළේ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

ආරක්‍ෂිත ස්ථාන වල රැදී සිටි ඊශ්‍රායල ජනතාවට ඉන් පිටව යා හැකි බවද ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුත් ඊශ්‍රායලයේ ඊසාන දෙසින් පිහිටි පලස්තීනයේ බටහිර ඉවුරේ පුද්ගලයෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා වල සදහන්.

ප්‍රහාර වල බලපෑම හේතුවෙන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ඉරාකය සහ ලෙබනනය වහාම සිය ගුවන් කලාප වසා දැමීමට කටයුතු කළේ ය.

පසුගිය වසරේ ඔක්තෝමබර් 7 වැනිදා සිට ගාසා තීරයේ හමාස් සංවිධානය සමග යුධ වදින ඊශ්‍රායලය, පසුගිය සැප්තැම්බර් 17 වැනිදා සිට ලෙබනනය ඉලක්ක කරගනිමින් අඛණ්ඩව ප්‍රහාර දියත් කළේ ය.

ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන් බහුලව භාවිත කරන පේජර් ඇතුළු සන්නිවේදන උපකරණ දුරස්ථව පුපුරුවා හරිමින් එල්ල කල සුක්ෂම ප්‍රහාරයෙන් පුද්ගලයින් 3000කට ආසන්න පිරිසක් තුවාල ලැබුවේ ය.

ඉන් අනතුරුව ඊශ්‍රායලය,වසර 30කට වැඩි කාලයක් හිස්බුල්ලා සංවිධානය මෙහෙයවූ හසන් නසරල්ලා ඝාතනය කළේ ය.

ඊට මාස කිහිපයකට පෙර ඊශ්‍රායලය සිදුකල සංවිධානාත්මක ප්‍රහාරයකින්, ඉරාන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට ඉරානයට පැමිණ සිටි හමාස් සංවිධානයේ නායක, ඉස්මයිල් හානියේ ජීවිතක්ෂයට පත්විය.

පසුගිය අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලය, සිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල කල ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මිය ගියේ ය.

ඊයේ (01)ප්‍රහාරයෙන් පසුව ඉරානය සදහන් කළේ, ඊශ්‍රායලය හමාස් සහ හිස්බුල්ලා නායකයින් ඝාතනය කිරීමට ප්‍රතිචාර දක්වමින් සිය හමුදා ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර දියත් කල බවයි.

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ඉරානයේ සිට මෙම ප්‍රහාර එල්ල වන බවයි.

කෙසේ වෙතත් ඇතිවිය හැකි ප්‍රහාරයක් පිළිබඳව අමෙරිකාව මීට පෙර ඊශ්‍රායලයට අනතුර අඟවා තිබිණි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ඊශ්‍රායලයේ අගනුවර දෙසට මෙම මිසයිල ප්‍රහාර එල්ල වන බවයි.

ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානය තහවුරු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර වලින් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට හානියක් වූ බවට මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි.

මේ අතර ඊශ්‍රායලයට, ඉරානය එල්ල කරන මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කරන්නැයි, අමෙරිකානු ජනපති ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ.

අමෙරිකාව සඳහන් කරන්නේ ජනපති බයිඩ්න් සහ උප ජනාධිපතිවරයා ඇති වී තිබෙන තත්ත්වය ධවල මන්දිරයේ සිට නිරීක්ෂණය කරමින් සිටින බවයි.

උතුරු ඊතල මෙහෙයුම ඇරැඹේ

ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වී තිබේ. සීමිත හා ඉලක්කගත මෙහෙයුම් සඳහා තම හමුදා ලෙබනනයට ඇතුළු වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

සඳුදා රාත්‍රියේදී ඊශ්‍රායල විශේෂ බළකා සාමාජිකයන් ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන්ගේ කඳවුරු හා බංකර වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

හිස්බුල්ලා සංවිධානය ද තමන් ඊශ්‍රායල ඉලක්ක වෙත තවදුරටත් පහර දෙන බව ප්‍රකාශ කරයි. ඊශ්‍රායලය පවසන්නේ හිස්බුල්ලා සංවිධානය සිවිල් වැසියන් පලිහක් ලෙස භාවිත කරන බවයි.

ඊශ්‍රායල වැසියන්ට තර්ජනාත්මක ඉලක්ක වෙත පහරදෙන බව එරට හමුදාව කියයි.

ලෙබනනයේ ආක්‍රමණය ‘උතුරු ඊතල’ මෙහෙයුම ලෙස නම් කර තිබේ.

අල් ජසීරා රූපවාහිනිය වාර්තා කර තිබුණේ දකුණු ලෙබනනයේ ලිතානි ගංගාව ආසන්නයේ දරුණු සටන් පවතින බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට අනතුරු අඟවා දින කිහිපයකට පසුව ලෙබනන් ආක්‍රමණය සිදුවිය. ඊශ්‍රායල හමුදාව පසුගිය සතියකට අධික කාලයක් තිස්සේ එල්ල කරන ප්‍රහාරවලින් මිලියනයක් අවතැන් වී තිබේ. මියගිය පිරිස දහසකට අධිකය.

ඉකුත් සිකුරාදා එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායක හසන් හසරල්ලා ඇතුළු නායකයෝ රැසක් මරණයට පත්වූහ.

ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කරන්නේ හිස්බුල්ලා සංවිධානය විනාශ කිරීමේ අරමුණින්ය.

Scroll to Top