පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට දායක වෙමින් මෙගාවොට් 20ක සූර්ය බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හෙක්ටයාර් 43ක ඉඩම් ප්‍රමාණයක් දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව 2030 වසර වන විට රටෙහි පුනර්ජනනීය බලශක්තිය සියයට 70ක් දක්වා වර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට දායක වෙමින් මෙගාවොට් 20ක සූර්ය බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය, කප්පල්තුරේ ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර් 43ක ඉඩම් ප්‍රමාණයක් මෙලෙස දීමට පියවර ගෙන ඇත.
තිස් අවුරුදු බදු පදනම මත දී ඇති මේ ඉඩම් ප්‍රමාණයෙන් මසකට රුපියල් මිලියන 1.75ක් ආදායම් වශයෙන් ලැබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලාංකික සමාගමක් වන ‘සීලෙක්ස් රිනිව්වබල්ස්’ සමාගමෙහි අනුසමාගමක් වන ‘සන් ස්කේප්’ (Sun Scape) ව්‍යාපෘති සමාගම විසින් මේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් කිරීම වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.
මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙලෙස කියා සිටියේය.
“මෙරට විදුලිබල අර්බුදයට පිළියමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය නිපදවිය යුතු බව වත්මන් රජයේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියෙන් පිළිගෙන තිබෙනවා. ඒ අනුව 2030 වසර වන විට මෙරටට අවශ්‍ය බලශක්තියෙන්, සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් ගැනීමට බලාපොරොත්තු වෙනවා.
එම ක්‍රියාවලියට අපේ අමාත්‍යාංශයත්, වරාය අධිකාරියත් සතු වෙනත් කාර්යයන් සඳහා පරිහරණයට ගත නොහැකි ඉඩම් තෝරාගෙන ආයෝජකයන්ට දීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය වරාය සතු කප්පල්තුර ප්‍රදේශයේ හෙක්ටයාර් 43ක ඉඩමක් ශ්‍රී ලාංකික සමාගමක් වෙත තිස් අවුරුදු බදු පදනම මත දී තිබෙනවා. එයින් මාසිකව රුපියල් මිලියන 1.75ක ආදායමක් වරාය අධිකාරියට ලැබෙනවා. එමඟින් ජාතික ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් දීමට හැකි වෙනවා.”
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, කළමනාකාර අධ්යක්ෂ ප්‍රභාත් මලවිගේ සහ සීලෙක්ස් රිනිව්වබල්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සමීර ගනේගොඩ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.