අඩ සියවසකටත් වඩා වැඩි කලක් තිස්සේ මහවැලි මවුන් ළතැවිල්ලෙනි. ඒ, මහවැලියේ අතිශය ප්රමුඛ මෙහෙවරක් ඉටු නොවුණු සොවිනි. ඒ අන් කිසිවක් නිසා, නොව, මහවැලි මහ සැලැස්මේ මූලික අංගයක් වූ උතුරු පළාත් මහ ඇළ ඉදිකිරීම් කටයුතු කල්යෑමෙනි. එහෙත් තවදුරටත් එය එසේ නොවේ. තවමත් වැඩකට නොගෙන ඔහේ, නිකරුණේ මහ සමුදුරට ගලා යන මහා ජල සම්පතින් කොටසක් එකතු කර ගනිමින් උතුරු මැදටත් උතුරටත් මහවැලි දියවර ගෙන යන උතුරු මැද පළාත් මහ ඇළෙහි කටයුතු දැන් ලහිලහියේ කෙරෙමින් පවතියි. ඒ, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර හා රජයේ අරමුදල් මඟින් වාරිමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කෙරෙන, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනෙහි ප්රමුඛ ව්‍යාපෘතියක් වශයෙනි.
මේ මුළු ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් බිලියන 176ක් (ඇ.ඩො.මි. 684) ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ වැය කෙරේ. ඉඳින්, එළැඹෙන වසරේ මෙහි මුල් අදියරේ වැඩ නිම කිරීමටත් සැලසුම් කර ඇත. චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම කොන්ත්‍රාත්කරු වශයෙන් කටයුතු කරන මේ සඳහා දේශීය වාරි ඉංජිනේරුවරුන්ගේ, තාක්ෂණ ශිල්පීන්ගේ, කම්කරුවන්ගේ දායකත්වය ලැබේ. ඉකුත් තිස් අවුරුදු කුරිරු යුද්ධයෙන් බැට කෑ, උතුරට, උතුරු මැදට, කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් තව තවත් අපමණ දුක් ගැහැට පැමිණෙයි. පිරිසුදු පානීය ජලය තවම එහි බොහෝ ප්‍රදේශවලට සිහිනයකි. එහෙත්, මේ අරුණ කිරණ වැටෙනුයේ ඒ සිහින නුදුරේදීම සැබෑ වන බවක් අඟවමිනි. අප දැන් පිවිසෙන්නේ උතුරු මැද පළාත් මහ ඇළ නම් වන, ඒ මහා වාරි විස්මයෙහි කුඩා කොටසකටය. එනම්, කළු ගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා ඒවා යා කරමින් උමං මාර්ග ද සහිතව ඉදි කෙරෙන අන්තර් හුවමාරු ඇළ මාර්ගයටය. සැබැවින්ම, මොරගහකන්ද ජලාශයේ සිට හුරුළු වැවට හා අනෙකුත් වැව් යටතේ සිටින, අඩ සියවසකටත් වැඩි කලක් තිස්සේ මහවැලි දියවර අපේක්ෂාවෙන් මඟ බලා සිටි රජරට ගොවි පරපුරක සිහින මෙයින් සැබෑවනු ඇත.
උමං තාක්ෂණය
ඉඳින්, මෙවැනි සුවිශාල ජලාශ දෙකක්, යා කෙරෙන මෙවන් අන්තර් හුවමාරු උමං මාර්ග ද සහිත වාරි කර්මාන්තයක් මෑත කාලීනව මෙරටදී කෙරෙන්නේ මුල් වරටය. කුඩා කඳු ගැට දෙකක් යා කෙරෙන මෙහි දුර 8.8 kmක් පමණ වෙයි. නකල්ස් පෝෂක කලාපයේ අදි සංවේදී පරිසර පද්ධතීන් හරහා දිවෙන හෙයින් උමං තාක්ෂණය හරහා මෙහිදී පරිසරයට වන හානි අවම කර ඇත. උමං හා ඇළ මාර්ග දෙයාකාරයත් තවත් නිර්මිත ගණනාවකින් ද සමන්විත මෙය, පරිසර හානි අවම වන පරිදි, අන්තර්ජාතික, දේශීය ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණකි. ඒ අනුව බැලූව ද, සමාජයීය හා පරිසර ආරක්ෂණ ක්‍රමවේද මෙහිදී අකුරටම පිළිපැදිය යුතුය. ඒ, ආසියානු සංවර්ධන බැංකුවේ හා රජයේ ප්‍රධාන නිර්ණායකයකි. මෙහිදී ඒ ප්රමිතීන්, ආරක්ෂණ පද්ධතීන් අනුගමනය කර තිබේ. ඒ අනුව දිගු කාලීනව බැලූව ද මොරගහකන්ද – කළුගඟ මඟින් ජලය සපයා ගැනෙන, උතුරු මැද පළාත් මහ ඇළ සාර්ථක, ඉතා ඵලදායී ව්‍යාපෘතියක් වශයෙන් ඇගැයීමට ලක් වෙමින් තිබේ.
උමං මාර්ග කැණීම් ලොව ප්රමුඛ වශයෙන් දෙයාකාරයකි. ඉන් එකකදී, කළුගල් විද, පුපුරුවා හරිමින් කරන කැණීම හා නවීන TBM නම් විදුම් යන්ත්‍ර භාවිතයයි. උතුරු මැද පළාත් මහ ඇළෙහි මෙම කළුගඟ – මොරගහකන්ද අන්තර් හුවමාරු උමං මාර්ග ඉදිකිරීමට යොදාගනු ලැබුවේ පිපිරුම් හා විදුම් ක්‍රමයයි. එහිදී ද ශබ්දය ඇතුළු කිසිම බලපෑමක් පොළොව මතුපිටට ඇති නොවන අයුරින් පවත්වා ගනිමින්, උමං තුළ මිනිසුන් වැඩ කිරීමේදී අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු, අන්තර්ජාතික වශයෙන් පිළිගත් සෞඛ්යාරක්ෂිත මිනුම් පිළිපැදීමටත් මෙහිදී අවධාරණයෙන් කටයුතු කෙරිණි. විශේෂයෙන් උමං වැඩබිමක් තුළ සාමාන්‍යයෙන් සුළඟේ වේගය තත්පරයකට 0.5M තරමේ පවත්වා ගැනේ. එහි ගුණාත්මක භාවයත් 19.5%ක ඔක්සිජන් මට්ටමක පවත්වා ගනිමිනි. තවද, එහි කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ් පවත්වා ගත යුතු අවම ප්‍රතිශතයන් ද පවතියි. ඒවා ද ඒ අයුරින් රැක ගනිමින් මෙහි ඉදිකිරීම් කෙරේ. එමෙන්ම, වන සත්ත්ව විශේෂ රැසක වාසභූමි වන මේ ප්‍රදේශ ආරක්ෂා කර දීම තවත් ප්රමුඛ වගකීමක් වශයෙන් මේ ව්‍යාපෘතියේදී සැලකෙයි.
කබරව ඔය දිගේ
එසේම, කැණීම්වලින් ඉවතලන කළුගල් ආදිය ඉදිරි මාර්ග සංවර්ධන කටයුතු ආදියට යොදා ගැනීමට නියමිතය. පරිසරයට හානි අවම වන පරිදි ප්‍රයෝජනයට නොහැකි අපද්‍රව්‍ය බැහැර කෙරෙනුයේ ද වස, විෂ කිසිවක් පරිසරයට එක් නොවන පරිදිය. අප තවම මේ සිටින්නේ එහි පළමු වැන්නෙහි ය. මීටර් 6.8ක විෂ්කම්භයකින් යුතු මේ හරහා වාර්ෂිකව ඝන මීටර් 248ක් මොරගහකන්ද ජලාශයට යැවීමේ හැකියාවත් පවතියි. අපි දැන් 9KMක් පමණ අද අප සැරිසැරූ, කළුගඟ, මොරගහකන්ද අන්තර් හුවමාරු ඇළ මාර්ගයේ කෙළවරට ළඟා වෙමින් සිටිමු. එය කබරව ඔය හා එක්වන අතර කබරව ඔය දිගේ ජලය මොරගහකන්ද ජලාශයට යාමට නියමිතය. ඇත්තටම කළුගඟ, මොරගහකන්ද අන්තර් හුවමාරු ඇළ මේ උතුරු මැද මහා ඇළේ කුඩා කොටසකි. තවත් බොහෝදුරක් මේ මහා ව්‍යාපෘතියේ අනෙක් කොටස් හරහා අප යා යුතුව පවතියි. අපි මේ ලිපි පෙළෙහි ඊළඟ අදියරේදී ඊට යොමු වෙමු. එහිදී මහ පොළොවේ කිමිදෙමු. එහි දීර්ඝ භූගත උමං ඔස්සේ, දුම්රිය හරහා සැරිසරමු.