ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනවලින් ඉදිකර වසර 4ක කාලයක් තිස්සේ වසාදමා තිබූ ගම්පහ වතුපිටිවල පිහිනුම් තටාකය ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ජනතා අයිතිය වෙත ලබාදීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කටයුතු කර ඇත.
ඒ අනුව රුපියල් මිලියන 40ක වියදමින් පිහිනුම් තටාකය නැවත ප්‍රතිසංස්කරණය කොට වහාම ක්‍රියාත්මකවන පරිදි පාසල් දරුවන්ට හා වැඩිහිටියන් වෙනුවෙන් විවෘතව තැබීමට මෙම වැඩපිළිවෙළ සකසා තිබේ.
ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී මඟින් ගම්පහ වතුපිටිවල පිහිනුම් තටාකය පවත්වාගෙන යෑම ඊයේ (22) සිට ආරම්භ වූ අතර, පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් හා වැඩිහිටියන් වෙනුවෙන් සහනදායී අයකිරීම් මත මෙය ක්‍රියාත්මක කෙරේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මෙම පිහිනුම් තටාකය භාවිතා කරන බැවින් පිහිනුම් තටාක නඩත්තු කිරීම හා පවත්වාගෙන යෑමේ මාර්ගෝපදේශයන් අනුව විෂබීජහරණය කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය උපදෙස් ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී වෙත ලිඛිතව ලබාදී තිබේ. සෞඛ්‍ය අංශවල හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උපදෙස් අනුව පිහිනුම් තටාකයේ පීඑච් අගය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් ද ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය උපදෙස් ලබාදී තිබීම විශේෂත්වයකි.
පිහිනුම් තටාකය නිසි පරිදි පවත්වාගෙන යෑමේ වගකීම ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී වෙත ලබාදී ඇති අතර, එහි මාසික ආදායම් වාර්තාව අදාළ මාසය ඉක්මවූ වහාම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ද දැනුම්දී තිබේ.