ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අයිසීසී විධායක සභාව ඉතා ඉක්මණින් සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීමේ සූදානමක් ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එය බොහෝ දුරට ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිදුවනු ඇතැයි ඒ මහතා ඊයේ (11) සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අයිසීසී ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ක්‍රිකට් තහනම ඉවත් කිරීමේ ඉඟියක් කළ බවත්, මීළඟ අයිසීසී විධායක කමිටු රැස්වීම පැවැත්වීමට ඇත්තේ ලබන මාර්තු මාසයේ බැවින් එයට පෙර ‘සූම්’ තාක්ෂණය ඔස්සේ විශේෂ විධායක සභාවක් පවත්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත්කිරීමේ හැකියාව සොයා බලන බවත් සඳහන් කර ඇත.
පෙබරවාරි මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ලබන ජූනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවත්, එසේ වුවහොත් එය මෙරටට ආර්ථික වශයෙන් විශාල පාඩුවක් බවත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
“අයිසීසී බෝඩ් මීටින් එකක් තියෙන්නේ මාර්තු මාසයේ. එතෙක් ඉන්නේ නැතුව ශ්‍රී ලංකාවේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒ අය ‘සූම් මීටින්’ එකක් ගන්නම් කිව්වා. අයිසීසී ප්‍රධාන විධායක නිලධාරියා ජනාධිපතිතුමා හමු වුණා. ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා අපි ක්‍රීඩා පනතක් ගේනවා. ඒකෙන් ඇමතිගේ බලතලත් අයින් කරනවා කියලා. මින්මතු අතුරු කමිටු පත් කිරීමේ හැකියාව අහෝසි කරන බව දැනුම් දුන්නා. අද ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට වැරදිලා තියෙන්නේ ඇමැතිගේ මැදිහත්වීම් බව මමත් පිළීගන්නවා. ඇමැති සිටින්නේ ප්‍රතිපත්තිමය කරුණු වෙනුවෙන් පමණයි. තේරීම් කමිටු පත් කිරීම්, කණ්ඩායම්වලට අනුමැතිය දීම් වැනි දේ තුළින් ක්‍රිඩාවට යම් යම් බලපෑම් වන බව පිළිගත යුතුයි. ඒ නිසා ජනාධිපතිතුමා අයිසීසී ප්‍රධාන විධායක නිලධාරියාට පැහැදිලිවම කිව්වා ක්‍රීඩාවේ ස්වාධීනත්වය ඇති කිරීමට කටයුතු කරන බව” හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඩොලර් මිලියන 28ක් තියෙනවා. ඊයේ ආපු විධායක නිලධාරීතුමා පැහැදිලිව කිව්වා ඒ අයට ප්‍රශ්නයක් වුණේ හිටපු ඇමති ඒ මුදල්වලින් සියයට 20ක් ඉල්ලීමයි කියලා. ක්‍රිකට් සම්බන්ධ විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව අයිසීසීය පැහැදිලිවම කිව්වා. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාව තැන් 3කට යොමු කොට ඒ ගැන සොයා බලා තිබුණා. ක්‍රිකට් ආයතනය අයිසීසී සාමාජිකයා නිසා ඒ අයට ඒ මුදල් වියදම් කිරීමේ බලය සහ අයිතිය තියෙනවා කියා අයිසීසීයේ මතයයි. ඒ නිසා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විගණන වාර්තාව පිළිබඳ කතා කිරීමේ අවශ්‍යතාවයක් නැති බව අයිසීසී ප්‍රධාන විධායක නිලධාරියා දැනුම් දුන්නා” ක්‍රීඩා ඇමැතිවරයා පැවසීය.
ආසියානු ක්‍රිකට් සභාපති හා ඉන්දීය ක්‍රිකට් ලේකම් ලේකම් ජේ ෂා මහතා හමුවී අයිපීඑල් තරගාවලියේ තරග තුනක් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවද ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී පැවසීය.
“ජේ ෂා කියන්නේ ඉන්දියාවේ බලගතු පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකාවට ආදරෙයි. අයිපීඑල් පැවැත්වෙන කාලයේ දකුණු ඉන්දියාවේ ඡන්දයක් තියෙනවා. ඒ නිසා අයිපීඑල් තරග තුනක් ශ්‍රී ලංකාවට ලැබෙයි කියා හිතනවා. එහෙම වුණොත් මත්තල ක්‍රීඩා හා සංචාරක කලාපයක් කිරීම අරමුණයි. ක්‍රීඩා ආර්ථිකයක් තුළින් රටට විදේශ විනිමය ගෙන ඒමේ කාර්ය සාර්ථක කිරීමේ හැකියාව අපට ලැබෙනවා. අපි කැපවී සිටින්නේ ක්‍රීඩාව සංවර්ධනය කරන අතරේ රටේ ආර්ථීකය ශක්තිමත් කොට ජනතාවට සහන දෙන්නයි. ඉන්දීය ලෙජන්ඩ්ස් තරගාවලියක් මේ වසරේ ශ්‍රී ලංකාවට ගේනවා. ඒ වගේම වයස අවුරුදු 50න් පහළ ලෝකයේ හිටපු දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගීවන ලෝක කුසලාන තරගාවලියක් මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා” ඇමැතිවරයා සඳහන් කළේය.