2023 වර්ෂයේ අවසන් පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව සිදුකරමින් කළගුණ සැළකීමේ ගුණය පෙන්නුම් කළේ අද වැනි පොහෝ දිනකයි.
එමෙන්ම සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය ශ්රී මහා බෝධිය දක්ෂිණ ශාඛාව වැඩම කළේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.
මෙරට මෙහෙණි සසුන ආරම්භවීම ද උඳුවප් පෝය දිනයේ දී සිදු වුණා.
මේ අතර 2023-2024 සඳහා වන ශ්රි පාද වන්දනා සමය ද උඳුවප් පුර පසළොස්වක පොහෝ දින එළඹීමත් සමඟ ආරම්භ වනවා.
ඒ, අනුව මෙවර ශ්රී පාද වන්දනා සමය අද (26) දිනයේ ආරම්භ වන අතර, ශ්රී පාද උඩ මළුවට සධාතුක කරඬුව, සමන් දේව ප්රතිමාව සහ දේව ආභරණ වැඩමකරවීම පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්රී පාද රාජමහ විහාරස්ථානයේ සිට ඊයේ (25) ආරම්භ කෙරුණා.