පුවත්පත් ක්ෂේත්රයේ පමණක් නොව කලා ක්ෂේත්රයේ ද තවත් දැවැන්තයෙකුගේ නිමාව දෙසැම්බර් 17 වන දා සනිටුහන් විය. කාටූන් සහ චිත්‍ර කතා ක්ෂේත්රයේ පුරෝගාමියෙකු මෙන් ම විශිෂ්ටයෙකු ද වූ කැමිලස් පෙරේරා එලෙස දැයෙන් සමුගත්තේ ය.
ඔහු, ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය කාටුන් චරිත වූ ගජමෑන්, මගෝඩිස් තුමා, දොං සේතං, තෙපානිස්, සිරිබිරිස් ඇතුළු කාටුන් චරිත රැසක් ජනතාව අතර ජීවමාන කළ ප්‍රවීණ කාටුන් ශිල්පියෙකි.
1939 වසරේ දෙසැම්බර් පළමුවන දා මීගමුවේ දී උපත ලැබූ කැමිලස් පෙරේරා, අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවිය. වෛද්‍ය උපදෙස් මත, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (දෙසැ:17) පස්වරුවේ ම සිදු කළ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ය.
කැමිලස් පෙරේරා ඔහුගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ, මීගමුව සාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙනි. ඉන්පසු ඔහු මාරිස්ටෙලා විද්‍යාලයයෙන් සහ සාන්ත මරියා විද්‍යාලයයෙන් ද සිප් සතර හැදෑරීය.
කැමිලස් පෙරේරා චිත්‍ර කලාවෙහි දක්ෂයෙකු බව ඔප්පු කළේ, කුඩා අවධියේදී ම ය. ඊට අමතරව ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වූ අතර මීගමුවේ ජුපිටර් පාපන්දු කණ්ඩායමේ ප්රමුඛ පෙළේ ක්‍රීඩකයෙකු විය. කැමිලස් පෙරේරාගේ මුල්ම නිර්මාණය පුවත්පතක පල වන්නේ වර්ෂ 1964 වසරේදීය. ඒ ලේක්හවුස් ආයතනයෙහි “සරසවිය” ය පුවත්පතේය.
අනතුරුව වර්ෂ 1965 සිට කැමිලස්ට දවස පුවත්පත සඳහා දිනපතා කාටුනයක් නිර්මාණය කිරීමට අවස්ථාව උදාවිය. ඒ “තෙපානිස්” යන කාටුන් චරිතය සමඟිනි. කිසිදු ගෙවීමක් එයින් නොලද මුත් ඔහු දිගටම එහි නිරත විය.
1966 වසරේ සිට ඔහුට දිනපතා දහවල් ජනතා පුවත්පතට කාටූනයක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබිනි. එය ‘දොන් සේතන්’නම් විය. දොන් සේතන් චරිතය සමඟ දොන් සේතංගේ බිරිය සිමෝනා, දියණිය මෙරායා සහ බාල සහෝදරයා ලපයා. දියණියගේ පෙම්වතා වූ ගොඩ්ඩින් අයියා ද බිහි විය. එය එවකට පවුලේ ජනප්‍රිය කාටූනයක් බවට පත් විය
පසුව ‘සිළුමිණ’ට ‘සිරිබිරිස්’ ද කැමිලස් අතින් නිර්මාණය විය. එය ද ඉමහත් ලෙස ජනප්‍රිය විය. එම සාර්ථකත්වය මත 1968 දී ඔහු ‘දැක්කොත් පද්මාවතී’ කතා මාලාව සරසවිය පුවත්පත වෙනුවෙන් ආරම්භ කළේය. එම වසරේම ඔහු අතින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට ‘මිස්ටර් ලව්රිස්’ නමින් තීරු කාටූනයක්ද නිර්මාණය විය.
1972 වසරේදී ලංකාවේ බිහිවූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත වූ සතුට පුවත්පතට ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රියම කාටුන් චරිතය වූ ‘ගජමෑන්‘ නිර්මාණය පාඨකයාට හඳුන්වාදෙන ලදී. එය පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලද චරිතයක් විය.
ඒ අතරම මිහිර පුවත්පතට ‘ටික්කා‘ නමින් කාටූනයක් නිරිමාණය කරන ලද අතර ලේක්හවුස් මඟින් ම නිකුත් වූ ක්‍රීඩා පුවත්පතට ඉදිරිපත් කළ ‘සෙල්ලං සේන‘ චරිතයද නිර්මාණය කරන ලදී.
‘සිරිබිරිස්‘, ‘දොංසේතං‘ ලපයා‘ වැනි ඔහු එවකට නිර්මාණය කළ චරිත සියල්ලක්ම පාහේ පාඨකයන් ඇද බැඳගත් නිර්මාණ බවට පත්විය. නමුත් පසුකලෙක ඔහු සතුට පුවත්පතින් ඉවත්ව මල්ටි පැක්ස් ආයතනය මඟින් නිකුත් කළ‘ සිත්තර‘ පුවත්පත හා සම්බන්ධ විය. සතුට අලෙවිය පහත වැටුණු අතර සිත්තර එවකට වඩාත්ම අලෙවි වූ චිත්‍ර කතා පුවත්පත විය.
එහිදි සිංහල අවුරුද්ද මුලකොට ගෙන ‘ගජමෑන්‘ විශේෂ කලාපයක් ද නිකුත් කළ අතර එය ද වාර්තාගත ලෙස අලෙවි විය. ඒ 1972 වසරේදීය.
1982 වසරේදී මල්ටිපැක්ස් ආයතය හා මතගැටුමක් මත ඉන් ඉවත්වූ කැමිලස් ඔහුගේම ආයතනයක් පිහිටුවා, එයින් ‘කැමිලස්ගේ ගජමෑන් සමඟ සත්සිරි‘ පුවත්පත එළිදැක්වීය. එයද අලෙවි වාර්තා බිඳ දමමින් අලෙවි වූ අතර ඔහුගේ සාර්ථකත්වය ද දෙගුණ තෙගුණ කරවීය.
දෙමටගොඩ ප්‍රදේශයෙන් තමාටම හිමි දේපලක් මිලදී ගත් ඔහු මුද්‍රණ යන්ත්‍ර සමඟ තමාගේම ප්‍රකාශන ආයතනයක් පිහිටුවා එයින් අධ්‍යාපන සඟරා ද නිකුත් කෙරුවේය.
2002 වසරේදී ‘ගජමෑන්ගේ 30 වෙනි උපන් දිනය සැමරූ අතර ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්රදර්ශනයක්ද පැවැත්වීය. පසුකලෙක ‘රිවිර‘ ජාතික පුවත්පතටද දේශපාලන කාටුන ඔහු නිරිමාණය කරන ලදී. දේශපාලන භේදයකින් තොරව ඔහු සෑම චරිතයක්ම සැබෑ ලෙස උපහාසයට ලක්කිරීමට සමත් විය. ඔහු අතින් නිමැවුනු ‘මගෝඩිස් තුමා‘ කාටුන් චරිතය එයට කදිම උදාහරණයකි.