නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මිෂුවාං’ (MICHAUNG) සුළි කුණාටුව, අද (දෙසැ. 4) අලුයම 5:30 වන විට උතුරු අක්ෂාංශ 13.2° සහ නැගෙනහිර දේශාංශ 81.2° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මී. 395ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය තවදුරට ත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, වයඹ දෙසට ගමන් කරනු ඇති බව ත් එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර හෙට (දෙසැ. 5) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි බලාපොරොත්තු වන බව ත් ය.
ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරට ත් සඳහන් කළේ ය.
වයඹ සහ උතුරු පළාත් වල වැසි වාර කිපයක් ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල ප.ව. 1:00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.