අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ,කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගංවතුර යළි ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ, අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
තව ද බෝපේ පොද්දල, නාගොඩ සහ බද්දේගම ආශ්රිත ගංවතුර තත්ත්වය සුළු වශයෙන් වර්ධනය විය හැකි බැවින් විමසිලිමත්වන ලෙස ද එම ප්‍රදේශවල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.
ඊයේ පස්වරුවේ සිට ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන වර්ෂාවත් සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ගිං ගඟේ බද්දේගම ජල මාපකයේ අගය අද උදෑසන මීටර් 4.20 ක මට්ටමට පැමිණ තිබෙන අතර එය ඒ සටහන්ව ඇත්තේ, මීටර් 3.95 ක් ලෙසයි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ හෝ රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි අතර කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකි බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.
පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අනිද්දා (14) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (13) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව දැනුම්දෙයි.
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකිය.
බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් පවතී.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තත්ත්වය
දවස පුරා ඇදහැලුනු අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර කණුව ආසන්නයේ නායයෑම සිදුවී තිබුණි.
ඒ, මාතර සිට කොළඹ දෙසට ධාවනය වන මංතීරුවට ඉහළින් පිහිටි පස් කන්දය.
මීටර් 100ත් 150ත් අතර පරාසයක සිදුවූ මෙම නායයෑමෙන් අධිවේගී මාර්ගයට පස්, ගල් සහ ගස් වැටී තිබුණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා,
“මේ මාර්ගය ගමනාගමනයට සුදුසුයි කියලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කිව්වට පස්සේ අපි බොහෝ වෙලාවට අපේක්ෂා කරනවා අවම වශයෙන් එක මංතීරුවක් හෝ විවෘත කරන්න. තවදුරටත් සමහර කොටස් නායයෑමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒවා පරීක්ෂා කරලා තමයි අපි මේ සම්බන්ධව තීරණයක් ගැනීමට සූදානම් වෙන්නේ.”
අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා,
“මෙතන ඇත්තටම කලිනුත් නායයෑමේ සලකුණු ඇති වෙච්ච ප්‍රදේශයක්. අවදානමක් තිබෙන නිසා මාර්ගය විවෘත කිරීමේ කටයුතු දැඩි සුපරික්ෂාකාරී තත්ත්වයක් යටතේ කරන්න ඕනේ.”
මේ අතර නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද එක්වී තිබුණි.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ විශේෂඥ දැනුම යොදාගනිමින් අධිවේගී මාර්ගය වාහන ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනමි පියවර ගන්නා ලෙස යුද හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ග කොටසේ 102 වන කිලෝමීටරය ආශ්රිත කොටස තවදුරටත් වසා තැබෙන බව, පොලීසිය පවසයි.
ඒ අනූව කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා ගමන් කරන සියලු වාහන පින්නදූව පිවිසුමෙන් පිටවිය යුතු වේ.
එලෙස පිටවන වාහනවලට ගාල්ල – දෙනියාය මාදම්පේ මාර්ගය ඔස්සේ ගමන් කර නැවත ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවිය හැකියි.
හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන වාහන ඉමදූව පිවිසුමෙන් පිටතට පැමිණ, ගාල්ල – දෙනියාය – මාදම්පේ මාර්ගය ඔස්සේ ගමන් කර පින්නදූව පිවිසුමෙන් නැවත අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකියි.
මේ අතර නායයාම වාර්තා වූ මාර්ගය දෙපස කඳුකර කොටසේ ඉහළ පෙදෙසේ පදිංචිව සිටි ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස දැනුම් දුන් බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
රේන්දපොළ – අඹේවෙල පාර කළු පාලම අසලින් ගිලා බසී
රේන්දපොළ – අඹේවෙල මාර්ගය කළු පාලම ආසන්නයෙන් ගිලා බැසීමට ලක්ව තිබේ.
පොලිසිය පැවුසවේ, රථ වාහන ධාවනය ඇණහිට ඇති බවයි.
අප වාර්තාකරු පැවසුවේ, ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මෙලෙස මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇති බවයි.
මාතලේ, නුවරඑළිය, මහනුවරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
මාතලේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව මෙම දිස්ත්‍රික්ක 3ත් සමග මේ වනවිට දිවයින පුරා දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අද ප්‍රථමවරට මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙළ, රත්තොට සහ මාතලේ ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය සඳහාද අද ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
එසේම මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රදේශය සඳහාද අද ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.