දීර්ඝ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ මරණය සිදුවූයේ ඔහුගේ පෙනහළු සම්බන්ධයෙන් ඇතිවූ සංකූලතාවයන් උත්සන්න වීමෙන් බව එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.
එම සංකූලතා හේතුවෙන් පිටතින් ලබා දෙන ලද ඔක්සිජන් හා ප්‍රතිකාර කිසිවක් දරා නොගැනීම නොගැනීම හේතුවෙන් මරණය සිදුව ඇති බවද ඒ මහතා පැවසීය.
රෝගියකු දින පන්සීයක පමණ කාලයක් සෙලවීමක් හෝ නැතිව යන්ත්‍ර ආධාරයෙන් තබා ගැනීමේදී ඇතිවන සාමාන්‍ය සංකූලතාවයක් මෙසේ උත්සන්න වූ බවද හෙතෙම කියා සිටී.
ජැක්සන් ඇන්තනි මහතා රඳවා සිටි කාමරයේ අද්භූත දේවල් සිදු වූ බවට සමාජ ජාල වල පළ වන වාර්තා පිළිබඳව මාධ්‍ය කළ විමසීමට ඔහු කියා සිටියේ එම කාමරයේ සිදු වූ එකම අද්භූත දෙය නම් වෛද්‍යවරුන් එම කාමරයේ රාජකාරි නොපිරිහෙලා ඉටු කිරීම බවයි.
ඇතැම් අන්තර්ජාලය නාලිකා තම පිවිසෙන්නන් ප්‍රමාණය ඉහල දමා ගැනීමට එවන් දෑ ප්‍රචාරය කර තිබුණ ද ඒ හැර වෙනත් කිසිදු අද්භූත යමක් එහි නො සිදු වුව බවද ඔහු කියා සිටියේය.
ජැක්සන්ට අවසන් ගෞරව දක්වන්න රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ඊයේ පැමිණ සිටියා.
අනතුරුව එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් රාමනායක මහතා මෙලෙස සිය අදහස් පළ කළා.
“මම එතුමාට ඕනේ ගෞරවය වටිනාකම, එයා ජීවත් වෙලා ඉද්දි එයාගේ කන් දෙකට ඇහෙන්න කියන්න අවස්ථාව ලැබුණා.. ඊට පස්සේ මට හම්බ වුණේ මම හිරේ ඉද්දී අපේ ලේකම්තුමාට කතා කරලා කිව්වා මොනවාද කන්න කැමති රන්ජන් කියලා අහන්න කිව්වාම, කෙහෙල් කොළේ බත් එකක් කන්න ආසයි කිව්වාම, මේ ඇක්සිඩන්ට් වෙන්න දවස් තුනකට ඉස්සෙල්ලා හරියටම වැලිකඩට ආවා විශාල කෙසෙල් කොළේ බත් එකක් අරගෙන.. මම කැමතිම ඌරු මස් ගෙන ගොඩාක් අරගෙන.. ඉතිං මුළු හිරකාරයෝ සේරම ඒ වාට්ටුවේ හිටිය කට්ටියම කෑවේ එදා ජැක්සන් ඇන්තනී ගෙනාපූ කෙසෙල් කොළේ බත් එක..
මගේ හොඳම මිත්‍රයා.. මම අරනෝලිස් පිටගම්කාරයො එකේ.. එයා තමයි මගේ ලොකු අයියා.. මාලනී ෆොන්සේකා මහත්මිය අපේ අම්මා.. තිස්ස අබේසේකර මහත්තයාගේ පිටගම්කාරයෝ එක.. මගේ හොඳම යාලුවා ඉතිං.. මොනවා කරන්නද ඉතිං.. මේ ජීවිතය කියන්නේ පොඩි සංචාරයක්.. අපි ජීවත් වෙන්නේ අවුරුදු 60ක්, 70ක්, 80ක් වගේ කාලයක්.. ඉතිං මම ඒ කතාවෙත් කියනවා අපි දෙන්නාගේ කාට ඉස්සෙල්ලා වීසා හම්බවෙයිද දන්නේ නැහැ කියලා.. එයාට වීසා එක හම්බවුණා ඉස්සෙල්ලා.. මගේ වීසා එකත් ඔන් ද වේ.. ඉතිං මේක තමයි ජීවිතේ..
නමුත් එක දෙයක් කියන්න ඕනේ ජැක්සන් ඇන්තනී කියන රංගධරයාට ගොඩක් ජනතාව පහුගිය ටිකේ දොස් කිව්වා.. මේ.. මේ.. එක එක දේවල් හින්දා.. නමුත් මෙතන දී ආරංචි වුණ දේ තමයි ඔහු ඇහැරිලත් නෑ.. ඉතාම හොඳට බොඩි එක තියෙනවා.. හුස්ම ගන්න අපහසුතාවයක් හින්දාතමයි.. ඒ කියන්නේ තනියම හුස්ම ගන්න.. තමන්ගේ ස්වශක්තියෙන් හුස්ම ගන්න දොස්තරලා යෝජනා කරලා තමයි ඒ නාලය ගලෝලා තියෙන්නේ.. ඉතිං සනීප වෙන්න හිටිය එක්කෙනෙක්.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ.. ඒක ඉතිං එයා ගෙනාපු ආයුෂ..
එකක් කියන්න ඕනේ.. මේ වගේ කැපාසිටියක් තියෙන ඇක්ටර් කෙනෙක් නම් මම දැක්කේ නෑ.. ජැක්සන්ව නම් රිප්ලේස් කරන්න බෑ.. ඒවගේ චරිතයක් ගේන්න ආයේ කාටවත් බෑ.. නමුත් එයා ඒකට හරියන පුත්තු දෙන්නෙකුයි දුවෙකුයි තියලා ගිහිල්ලා තියෙනවා.. එ්ගොල්ලොත් අතිදක්ෂයෝ.. ඉතිං තාත්තගේ නම ගෙනියන්න ඒ ගොල්ලන්ගේ ඉඩ ලැබේවායි කියලා මම ආශිර්වාද කරනවා..
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.
එදින සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබේ.
මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බව ද ඥාතීන් දැනුම් දී ඇත.