පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වයඹ මුහුදු තීරයේ ස්ථාන ගණනාවක වෙරළ ඛාදනය උග්ර වී තිබේ. මින් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ හලාවත ඉරණවිල මුහුදු තීරයේය.
එම වෙරළ තීරයේ ස්ථාන ගණනාවක උග්ර ඛාදනය වීම හේතුවෙන් නිවාස කැඩී යාමේ තර්ජනයට ලක්ව තිබේ. වෙරළ තීරයේ පොල් ගස් රැසක් ද මුහුදට බිලි වීමේ අවදානමක් පවතී.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉදිකර ඇති ආරක්ෂක ගල් වැටිද බොහෝ ස්ථානවලින් කඩාගෙන ගොස් ඇති අතර හලාවත වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගය ආසන්නයටම වෙරළ ඛාදනය වී තිබේ.
ඉරණවිල ධීවර තොටුපොළට ආසන්නව මුහුද ඛාදනය වීම හේතුවෙන් ධීවර ජනතාවට සිය ධීවර කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඔවුන් පවසති.
පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවක් මෙම වෙරළ තීරය ඛාදනයට ලක් වූ අතර ඊට විසඳුම් ලබාදීම කඩිනමින් සිදු නොවූ බව ධීවර ජනතාව පෙන්වා දෙති. මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට කටයුතු කරන මෙන් ඔවුන් ඉල්ලා සිටිති.