2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වෙයි.
එහි පළමු තරගයට එක්වන්නේ, එංගලන්තය සහ නවසීලන්තයයි.
ලොව විශාලම ප්‍රේක්ෂක ධාරිතාව සහිත දැවැන්තම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙහි ප්‍රේක්ෂකයින් 130,000කට එකවර අසුන්ගත හැකි බැවින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල්ම තරගය හා අවසන් මහා තරගය මෙහි පැවැත්වීමට සැලසුම් කොට ඇත.
1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර අද ආරම්භ වේ.
ඉන්දියාව සත්කාරකත්වය දරන තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 10කදී.
අද තරග බිමට පිවිසෙන එංගලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවට සඳහන් වේ.
මේ අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිගේ සහභාගීත්වය ද අවිනිශ්චිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන් විය.
දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 95ක් පවත්වා තිබේ.
දෙපිලම තරග 44 බැගින් ජය ඇති අතර තවත් තරග 3ක් අවසන් වූයේ ලකුණු සම වීමෙන් අනතුරුවයි.
මේ අතර අනෙක් තරග 4 තීරණයකින් තොරව අවසන් විය.
අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.
ටිකට් පත් ඉල්ලා කරදර නොකරන්න
ලෝක කුසලාන තරගාවලියේ තරග නැරැඹීමට ටිකට් පත් ඉල්ලා කරදර නොකරන්නැයි ඉන්දීය පිලේ සුපිරි පිතිකරු විරාට් කෝලි සිය මිතුරන්ගෙන් සහ රසිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
මෙවර තරගාවලියේ ඉන්දියාව සහභාගි වන පළමු තරගය ලබන ඉරිදා චෙන්නායි නුවර චෙපොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එම ක්‍රිඩාංගණයේ පැවැත්වෙන බොහෝ තරගවල ටිකට් පත් මේ වනවිටත් අලෙවි වී අවසන් බව වැඩිදුරටත් වාර්තා වේ.
තමා ඇතුළු ඉන්දීය පිලේ එකම අරමුණ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම බැවින් ටිකට් පත් ඉල්ලා තමන් අපහසුතාවට පත් කරමින් නිවෙස අසළ එක්රොක් වීමෙන් වළකින්නැයි කෝලි ප්‍රකාශ කර තිබේ.
ගෝලීය තානාපති සචින්
අයිසීසී එක්දින ලෝක කුසලාන තරගාවලියේ ගෝලීය තානාපතිවරයා ලෙස හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කර් පත් කර තිබේ.
ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පිතිකරුවකු වන සචින් සිය ක්‍රිකට් ජීවිතය තුළ එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වාර්තාගත ක්‍රීඩකයෙකි.
1987 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී හතරේ සීමාවෙන් පිටතට ඇදී යන පන්දුව නැවත පන්දු රකින්නන්ට ලබා දෙන ‘බෝල් බෝයි‘ ලෙස සෙසු පාසල් ක්‍රීඩකයන් සමඟ කටයුතු කළ අවස්ථාවේ සිට එක්දින ලෝක කුසලාන තරගාවලි 6කදී ඉන්දියාව නියෝජනය කිරීමට වාසනාව උදා වූ බවත්, 2011 ලෝක කුසලානය ජයගැනීම සිය ක්‍රිකට් ජීවිතයේ වඩාත්ම ආඩම්බරයට පත් වූ මොහොත බවත් තානාපතිවරයා ලෙස පත්වීමෙන් පසු සචින් ටෙන්ඩුල්කර් ප්‍රකාශ කළේය.
භානුක රාජපක්ෂට මොකද වුණේ. චාමික කරුණාරත්න කණ්ඩායමේ ඉන්නවද නැද්ද? මේ දක්ෂ ක්‍රීඩකයන්ට ඇයි මෙහෙම කැපිලි දාන්නේ.
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුදලට යටවී ඇති බවත් උඩ සිට පහළට ක්‍රීඩාව සුද්ධ කළ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සභාපති සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.
එමෙන්ම තම පියා නිර්මාණය කළ ආසියානු ක්‍රිකට් කවුන්සිලය අදවනවිට සූදු සමාගම්වලින් අනුග්‍රහය ගන්නා තත්ත්වයට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමාට කනගාටුවක් පවතින බවත් ආණ්ඩුකාරවරයා පවසා සිටියා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා,
‘ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සභාපති මම. වරදවා තේරුම් ගන්න එපා ක්‍රිකට් බෝඩ් එකේ නෙමෙයි. මේ පදනම ආරම්භ කළේ මගේ පියා වන ගාමිණී දිසානායක මහතා 1982 වර්ෂයේදීය. අපිට යම් කිසි සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. මම ශාන්ත ඇලෝසියස් විදුහලේ ක්‍රිකට් කණ්ඩායමට රු. ලක්ෂ 05ක් ලබාදෙන්න පොරොන්දු වෙනවා. ඊටත් අමතරව තවත් ක්‍රීඩාවලට සම්පත් අවශ්‍ය නම් අපේ පළාත් සභාවෙන් ලබාදීමට මම ප්‍රතිඥා දෙනවා.
1996දී අපි ක්‍රිකට් ලෝක ශූරයින් වුණා. හැබැයි ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී අපේ කණ්ඩායම පන්දුවාර 10කට සීමාවෙලා ලකුණු 50කට දැවී යනවා. ඉතාමත් කනගාටුදායකයි. බොහෝ අය කියනවා මේක විශාල වශයෙන් පාවාදීමක් කියලා. මම එහෙම හිතන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම ක්‍රිකට් මුදල්වලට යටවෙලා කියන එක මට පැහැදිලිවම කියන්න පුළුවන්.
දැන් මේ අම්මලා තාත්තලා මේ දරුවෝ ආසියානු කුසලානය ටීවී එකෙන් බලනකොට දැන්වීමක් දකින්න ඇති වන්එක්ස්බැට් කියලා. බැට් එක අල්ලාගෙන ඉන්නවා කොල්ලා, බැට් එක ටක් ගාලා ලොකු වෙනවා. මොකක්ද මේ වන්එක්ස්බැට් කියන්නේ. මම මේක ගූගල් එකේ ගහලා බැලුවා. වන්එක්ස්බැට් කියන්නේ බැට් නෙමෙයි බෙට්. එතකොට යන්නේ බෙටින්ග් සයිට් එකකට. බෙට් කියන්නේ මොකක්ද? බෙට් කියන්නේ සූදුව. ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මේ තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ සූදු සමාගමක්. ඒ මට්ටමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා. මම මේ හැගීම්බරව කියන්නේ මගේ තාත්තා නිර්මාණය කරපු ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඇයි මේ බෙට් කරන සූදු කරන සමාගම්වලින් අනුග්‍රහයක් ගන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මොකක්ද මේකට කියන්නේ. අපි සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සුද්ධ කළ යුතුයි උඩ ඉඳලා පහළට.
එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා 2015 ජනවාරි මාසයේ මට ක්‍රීඩා ඇමතිකම දුන්නා, මම එතුමාගෙන් ගිහින් ඇහුවා මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් උපදෙස් අවශ්‍යයි, මම මොකක්ද කරන්න ඕනේ කියලා. එවෙලේම කිව්වා අතුරු කමිටුවක් දාන්න කියලා. එතකොට මම ඇහුවා කොහොමද අපි මේ ගනුදෙනුව අයිසීසීය සමග බේරාගන්නේ, ඒ අය එකට කැමති නැහැ කියලා. එතකොට කිව්වා මම මෝඩි අගමැතිතුමාට කතා කරලා ඒක බේරලා දෙන්නම් කියලා. මම එක හෙළාම අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතාව පත්කළා අතුරු කමිටු සභාපති විදිහට. ඉතාමත් දක්ෂ ලෙස එතුමා ක්‍රිකට් ආයතනය මාස 08ක් පාලනය කළා. තවත් ක්‍රීඩා ඇමැති කෙනෙක් ආවා. අපි කරපු උත්සාහයන් පැය 24න් නැති කරලා දැම්මා. එමනිසා මුදල්වලට යටවෙන්න බැහැ. ක්‍රිකට් කියන්නේ විශාල වශයෙන් මුදල් ගැවසෙන තැනක්.
අපි ඉන්දියාවට යනවා ලෝක කුසලානය ක්‍රීඩා කරන්න. මේ තියෙන රෙකෝඩ් එක්ක මම හිතන්නේ නැහැ අපිට සාර්ථකව මුහුණදෙන්න පුළුවන් කියලා. මම ප්‍රාර්ථනා කරනවා සාර්ථකව මුහුණදෙන්න පුළුවන් වෙන්න කියලා. නමුත් බලන්න භානුක රාජපක්ෂට මොකද වුණේ. අද චාමික කරුණාරත්න කණ්ඩායමේ ඉන්නවද නැද්ද? මේ දක්ෂ ක්‍රීඩකයන්ට ඇයි මෙහෙම කැපිලි දාන්නේ. ඉතින් හැමතැනම උඩ ඉඳලා පහළට යනකන් තියෙන්නේ දේශපාලනය. දේශපාලනය කරන්නේ නැතුව අපි හරිදේ කරන්න ඕනේ. එනිසා මම හිතනවා අපේ ජනාධිපතිතුමා ඒ අවශ්‍ය පුද්ගලයන් සමග කතා කරලා ඒ හරි තීරණයක් ගනීවි කියලා.’ යනුවෙන් වැඩිදුරටත් පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ශ්‍රී ලංකා පාපන්දු ආයතන ගැන තීරණයක් ගන්න ක්‍රීඩා ලේකම් විශේෂ පොලිස් ඒකකයට
ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විමර්ශන වාර්තාව හා ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කල විශේෂ විගණන වාර්තාව ද, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ විමර්ශන වාර්තාව සහ ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකල අභ්‍යන්තර විගණන වාර්තාව ද ඉදිරි නීති කටයුතු සඳහා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙත ක්‍රීඩා අමාත්‍යාංශයේ දී (10/03) දින භාර දෙනු ලැබීය.
2022 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ඇතුළු පංච පුද්ගල කමිටුව විසින් 2023.04.04 දින නිකුත් කරන ලද විමර්ශන වාර්තාව ද ඒ සදහා ජාතික විගණන කාර්යාලය විසින් 2023.09.11 දින නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාව ද,
ඒ හා සමානවම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත සිදුකල විශේෂ විමර්ශනය කර 2023.04.04 දින නිකුත් කල විශේෂ විමර්ශන වාර්තාව ද, ඒ හරහා පාපන්දු සම්මේලනයේ වංචා දූෂණ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශයෙන් සිදුකල විගණන වාර්තාව ද,
ඉදිරි නීතිමය කටයුතු සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් කේ. මහේසන් මහතා විසින් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශණ ඒකකයේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඒ.ජේ.එච්. ෆොන්සේකා මහතා වෙත භාර දෙන ලදී.
ඒ අනුව ඔවුන් මෙම විමර්ශන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතට අනුව සිදු කරනු ඇත.