චීනයේ හන්ජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ ඊයේ පැවති කාන්තා මීටර් 800 ඉසව්වේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ තරුෂි කරුණාරත්න ඉන් විනාඩි 50කට පසුව කාන්තා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම සමඟ එක්ව ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.55ට මීටර් 800 ඉසව්වට එක් වූ තරුෂි විනාඩි 2:02.20ක කාලයකින් රන් පදක්කම දිනාගත් අතර, අනතුරුව මෙරට වේලාවෙන් පස්වරු 5.45ට මීටර් 400 සහාය දිවීමේ කාන්තා ඉසව්වට එක් වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
තරුෂි මීටර් 800න් දිනාගත් රන් පදක්කම ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම වීමද විශේෂත්වයකි.
එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා රන් පදක්කමක් දිනාගත්තේ වසර 21කට පසුව වීමද කැපී පෙනේ. අවසන් වරට 2002 වසරේ දකුණු කොරියාවේ බූෂාන්හිදී ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා රන් පදක්කම් දිනා ගෙන තිබිණි. මෙය ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් 12 වැනි රන් පදක්කමයි.
ඊයේ මේ ඉසව්වට එක් වූ ක්‍රීඩිකාවන් 8 දෙනා අතුරින් 18 හැවිරිදි තරුෂි ළබාලතම ක්‍රීඩිකාව ද වූවාය. මේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ඇය වලල ඒ. රත්නායක විදුහලෙන් ක්‍රීඩාවට පිවිසි අතර, ඇයගේ පුහුණුකරු ලෙස සුසන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.
මේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ ගයන්තිකා අබේරත්නට හිමි වූයේ අවසන් ස්ථානයයි. ඇය වාර්තා කළ කාලය විනාඩි 2:05.87කි. මෙහි රිදී පදක්කම ඉන්දියාවේ බයින්ස් හර්මිලාන් (2:03.75) දිනාගත් අතර, ලෝකඩ පදක්කම චීනයේ වැන්ග් චුන්යූට (2:03.90)ට හිමි වූවාය.
වසර 17කට පසවු ආසියානු ක්‍රීඩා උලෙළකදී පළමු මලල ක්‍රීඩා පදක්කම
වසර 17කට පසවු ආසියානු ක්‍රීඩා උලෙළකදී පළමු මලල ක්‍රීඩා පදක්කම දිනා දීමට නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වූයේ තම දක්ෂතාව නව ශ්‍රී ලංකා වාර්තාවක් බවට ද පත් කරමිනි.
පෙරේදා චීනයේ හන්ජෝ නුවරදී කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක් වූ ඇය මීටර් 61.57කින් රිදී පදක්කම දිනාගත් අතර, එහිදී ඇය එම ඉසව්වට එක් වූ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ පසු වූ චීන ඔලිම්පික් ක්‍රීඩිකාවක ද පරාජය කිරීම කැපී පෙනිණි. ජයග්රහණයෙන් අනතරුව ‘දිනමිණ’ට අදහස් දැක්වූ නදීෂා කියා සිටියේ තම හොඳම පෞද්ගලික දක්ෂතාව අබිබවා යෑමේ අරමුණින් මේ ක්‍රීඩා උලෙළට එක් වූ අතර, ඒ සමඟින් සිය මාතෘ භූමියට පදක්කමක් දිනා දීමට හැකි වීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවත්ය.
“මට කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ පදක්කමක් දිනා ගැනීමට හැකි වීම ගැන. මම මේ තරගාවලියට එක් වුණේ කොහොම හරි මගේ පෞද්ගලික හොඳම දක්ෂතාව අබිබවා යනවා කියන අරමුණින්. මම විශ්වාස කළා එය අබිබවා ගියොත් මට පදක්කමකට යන්න පුළුවන් කියලා. මගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත සර් කිවුවේ ඒ දේ කළොත් පදක්කමකට යන්න පුළුවන් කියලා. සර්ගේ ආශිර්වාදය මට හැමවෙලේම තිබ්බා. අන්තිමට සර්ගේ විශ්වාසය ජය ගත්තා.”
නදීෂාගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා මේ තරගාවලියට එක් නොවන අතර, ඇය කියා සිටියේ පුහුණුකරු සිටියේ නම් එය ශක්තියක් වනු ඇති බවයි. තමාට මේ ගමනට ශක්තියක් වූ අය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය “විශේෂයෙන් මට මේ වෙලාවේ ස්තූති කරන්න ඕන මගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත සර්ට. සර් යටතේ මට දෙවරක් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්න පුළුවන් වුණා.
ඒ වගේම මේ වන විට ජීවතුන් අතර නැති වුණත් මගේ මුල්ම පුහුණුකරු ඒ.ජේ. රොඩ්රිගෝ සර් සහ පාසලේ පුහුණුකරු අරුණ ශාන්ත සර්ට. විශේෂයෙන් මෙතෙක් දුර එන්න මට අත දුන් යුද හමුදාවට ස්තුතිවන්ත වෙනවා. ඉන් ලැබෙන ශක්තියෙන් තමයි මට මේ දස්කම් පෙන්වන්න අවස්ථාවක් ලැබුණේ. ඒ වගේම මගේ ගෙදරින් මට හොඳ සහයෝගයක් ලැබෙනවා” යැයි කීවාය.