Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගංගා කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ නිල්වලා, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ අදාළ ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාවට හා එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල සහ අතුරුමාර්ගවල ගමන්ගන්නා රියදුරන්ට වඩාත් සැලකිලිමත් වෙන ලෙසයි.

එමෙන්ම පසුගිය පැය 24 තුළ එම ගංගා ආශ්‍රිතව වැසි තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද වාර්තා වෙයි.

මේ අතර කැලණි ගංගාවේ ජල ගලනය තවදුරටත් පවතින අතර අවිස්සාවේල්ල පහළ ප්‍රදේශයේ කැලණි ගඟේ යම් යම් ස්ථාන පිටාර ගලා ඇති බව ද වාර්තා වෙයි.

කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.

ගංගාවල නවතම ජල මට්ටම් සඳහන් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

මේ වනවිට රත්නපුර සහ ඇල්ලගාව ජල මාපාංක වල අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා කළු ගඟේ ජල මට්ටම සටහන්ව තිබේ.

ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වය තවදුරටත් පවතී.

මේ අතර කළු ගඟේ පුටුපාඋල ප්‍රදේශයේ දැක්වෙන්නේ සුළු ගංවතුර තත්ත්වයක් ලෙසටය.

මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටමද නවතම වාර්තාව අනුව යළි ඉහළ යමින් පවතී.

එම ගංගාවේ තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවල ජල මාපාංකවල මේ වනවිට දැක්වෙන්නේ සුළු ගංවතුර තත්ත්වයක් ලෙසටය.

බද්දේගම ප්‍රදේශයෙන් ගින් ගඟේ පවතින සුළු ගංවතුර තත්ත්වයද තවදුරටත් පවතී.

මේ අතර පවතින ආපදා තත්ත්වය සමඟ රත්නපුර, කෑගල්ල, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය දිස්ත්‍රික්කවල පවුල් 6250ක පුද්ගලයින් 25,863ක් ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරන ඒකකයේ නවතම දත්ත පෙන්වාදෙයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මි.මී. 75ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකිය.

සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Scroll to Top