ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග දිරා නොයන ඝණ අපද්‍රව්‍ය වලින් ජලාශය පිරී යාම නිසා දැඩි පාරිසරික හානියක් සිදු වීමේ අවධානමක් පවතින බව ජලාශයේ මිරිදිය ගොවීහු පවසති .
මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ කැළණි ගඟේ ප්‍රධාන අතු ගංඟා දෙක වන මස්කෙළිය ඔය හා සීතගඟුල ඔයෙනි. මස්කෙළිය ඔය ආරම්භ වන්නේ සාමිමලේ, මීරියාකෝට්ටේ රක්ෂිතයේ සිටය. සීතඟුගල ඔය ආරම්භ වන්නේ ශ්‍රීපාද රක්ෂිතයෙනි.
තේවතු හරහා ගලා බසින මෙම අතු ගංඟාවන් දෙපස පදිංචි වතු කම්කරුවන්, ප්‍රදේශවාසීන්, මස්කෙළිය හා සාමිමලේ නඟරවල ඇතැම් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මාවුස්සාකැලේ ජලාශය අවට පදංචි ඇතැම් පුද්ගලයින් විසින් බැහැර කරන ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය වැසි ජලය සමග ජලාශයට ගලා ඒම සිදුවේ.
වර්ෂාධික දිනවල ගොඩ ගැසෙන ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මාවුස්සසාකැලේ ජලාශ ඉවුර වෙත ගසාගෙනවිත් පාවෙමින් ඇති අයුරු මේ දිනවල දැක ගත හැකියි.
ඇතැම් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දිරා නොයන ඝණ අපද්‍රව්‍ය අක්‍රමවත්ව, පරිසර හිතකාමී නොවන අයුරින් බැහැර කිරීම නිසා මාවුස්සාකැලේ ජලාශයට ගොඩවීමෙන් එහි මිරිදිය සම්පත ඇතුළු ජලජ ජීවීන් විනාශයට පත්වී වසරක් පාසා දැඩි පාරිසරික හානියක් සිදුවන බව පරිසරවේදීන් මෙන්ම මිරිදිය ගොවීන් හා ප්‍රදේශවාසීන් පවසනවා.
මෙම දිරා නොයන ඝණ අපද්‍රව්‍ය මාළු දැල්වල පැටලීමෙන් එම දැල් කෙටි කාලයකදී ඉරී විනාශයට පත්වීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්වන බව මාවුස්සාකැලේ ජලාශයේ මිරිදිය කටයුතුවල නිරතව සිටින මිරිදිය ගොවිහූ කියා සිටිති.
ජලාශයේ ජල මට්ටම පහත බසින කාලවලදී මෙම දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ටොන් ගණනක් ජලාශ පතුලේ තැන්පත්ව ඇති අයුරු දැක ගත හැකි වේ.
විශාලත්වය අක්කර 1790 කින් හා ජල ධාරිතාවය අක්කර අඩි 93800 කින් සමන්විත ජාතික ජලවිදුලිබල පද්ධතිය යටතේ ඇති මාවුස්සාකැලේ ජලාශය මගින් ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂාපන, පොල්පිටිය යන විදුලිබලාගාර 04 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයීම සිදු කෙරේ.
නීති විරෝධී අයුරින් දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ජාතික සම්පතක් වන මාවුස්සාකැලේ ජලාශයට බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රදේශයේ පරිසර හිතකාමි ජනතාව අවධාරණය කර සිටී.
ගාමිණී බණ්ඩාර