Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක් | මාස්ටර් බ්ලාස්ටර් | කිං ඔෆ් ද ස්පින්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එම තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ පහසුව සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ප්‍රවේශපත්‍ර

කිසිම හේතුවක් නිසා ඇතුළු වන දොරටුවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ අනුව ක්‍රීඩාපිටිය අවට ව්‍යාජ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම් සිදු විය හැකි අතර ඊට හසු නොවන ලෙස පොලීසිය විසින් දැනුම් දෙනවා.

පසුගිය දිනවලත් එවැනි ව්‍යාජ ප්‍රවේශපත්‍ර විවිධ මිල ගණන්වලට විකුණා ඇති අවස්ථා වාර්තා වී තිබුණා.

ඇතුළුවීමේදී සිදු කරන QR පරික්ෂාවේදී එම ප්‍රවේශ පත්‍ර ව්‍යාජ බවට අනාවරණය වූ බව සඳහන්.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ අද දිනයේ කෙත්තාරාම ක්‍රීඩා පිටිය ආසන්නයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

තරගය නැරඹීමට වාහනයකින් පැමිණෙන්නේ නම් ඔබට කෙත්තාරාම මංසන්ධියේ දී වාහනවලින් බැස සිය රථය ගාල් කිරීමට සිදු වනු ඇති.

ඊට රථ ගාල් 10ක් සූදානම් කර ඇති අතර එහිදී කිසිම ආකාරයෙන් තැරැව්කරුවන්ට මුදල් ලබාදීමක් සිදු නොකරන ලෙස ද දැනුම් දෙනවා.

ක්‍රිකට් තරගය නැරඹීමට ප්‍රේමදාස පිටියට ඇතුළුවීමට නොහැකි අය වෙනුවෙන් මාළිගාවත්තේ පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සහ ගාලුමුව දොර තිර දෙකක් සවිකර තිබෙනවා.

ඒ අයට එම තිර ඉදිරිපිට ක්‍රීඩා තරගය නැරඹීමට හැකියාව පවතින බව සඳහන්.

ඉතිහාසය නැවත පෙළ ගැසෙයෙි

ඉතිහාසය නැවත පෙළ ගැසෙමින් තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් පිට පිට දෙවැනි වරටත් ආසියානු ක්‍රිකට් කුසලානය අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කුරුමානම් අල්ලමින් සිටී. පසුගිය වසරේ සැප්තැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානය ලකුණු 23කින් පරාජය කරමින් පස්වැනි වරට ආසියානු කුසලානය මව්බිමට හිමිකර දුන් ශ්‍රී ලංකා පිල මේ වසරේ සැප්තැම්බරයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 16 වැනි ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉතිහාසය නැවත අලුත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. වෙනසකට ඇත්තේ මෙවර ප්‍රතිවාදියා පාකිස්තානය නොව ඉන්දියාව වීමය.

පසුගිය වසරේ අනුශූරයන් වූ බාබර් අසාම්ගේ පාකිස්තාන පිලට මෙවර සිදු වූයේ සුපිරි හතර වටයේ තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වී හිස් අතින් ගෙදර යෑමටය. ඔවුන් හිස් අතින් ගෙදර ගියා පමණක් නොව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල සිටි අංක එකේ ආධිපත්‍යය ද අහිමි කර ගත්තේය.

ඒ අනුව 2010 වසරෙන් පසු පළමුවතාවට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා සිටිති. කැපී පෙනෙන කරුණ වන්නේ දශක 4කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු කුසලාන තරග ඉතිහාසයේ එතෙක් මෙතෙක් කිසිදාක ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහා තරගයක් නොතිබීමය.

අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුණ ගැසුණු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති 2010 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ජයගත්තේ ලකුණු 81කිනි. රන්ගිරි දඹුල්ලේ පැවැති අවසන් මහා තරගයට ක්‍රීඩා කළ දෙපිලෙන්ම මෙවර අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට ඉතිරි වී සිටින්නේ විරාට් කෝලි, රෝහිත් ෂර්මා සහ රවීන්ද්‍ර ජඩේජා පමණි.

වසර 1984 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වූ ආසියාවේ ක්‍රිකට් ශූරයන් තේරීමේ තරගාවලියේ මේ දක්වා කුසලාන 7ක් දිනා ගනිමින් වැඩිම කුසලාන ගොන්නට හිමිකම් කීමට ඉන්දියාව සමත් වී සිටින අතර, ශ්‍රී ලංකාව කුසලාන 6ක් දිනා දෙවැනි තැන පසු වෙයි. මෙවර හිස් අතින් ගෙදර ගිය පාකිස්තානය 2000 දී සහ 2012දී දෙවතාවේදී කුසලානය අත්කර ගත්තේය.

ආසියානු කුසලාන ඉතිහාසය පිරික්සීමේ දී එහි වැඩි ගෞරව හිමි ව ඇත්තේ, ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට වීම විශේෂත්වයකි.

1984 දී පළමු වතාවට පැවැත්වූ ආසියානු කුසලානය සමඟ මේ දක්වා ආසියානු කුසලාන තරගාවලි 16ක් පවත්වා තිබේ.

ඒ හැරුණු කොට වෙනත් කිසිදු ආසියානු රටකට ආසියානු කුසලානය සිය මව්බිමට රැගෙන යාමේ භාග්‍යය උදා වී නැත.

බංග්ලාදේශය පමණක් අවසාන මහා තරගාවලිය සඳහා අවස්ථා තුනක දී සුදුසුකම් ලැබුව ද ඔවුහූ ඒ සෑම තරගයක් ම පරාජයට පත් වූහ.

මාස්ටර් බ්ලාස්ටර්

සමස්ත ආසියානු කුසලාන තරගාවලිවල වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව තවමත් නොබිඳී පවතින්නේ, මාස්ටර් බ්ලාස්ටර් හෙවත් සනත් ජයසූරියගේ නම ඉදිරියෙනි.

ඒ, ලකුණු 1,220ක් සමඟිනි.

කිං ඔෆ් ද ස්පින්

වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව ද ශ්‍රී ලංකාව ඉදිරියේ ලියා තබමින් කිං ඔෆ් ද ස්පින් හෙවත් මුත්තයියා මුරලිදරන් කඩුලු 30ක් දවාගෙන ඇත.

සටන්කාමී ක්‍රීඩකයෝ

මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගය දක්වා ශ්‍රී ලංකා පිල රැගෙන ගිය සටන්කාමී ක්‍රීඩකයෝ රැසකි. ඒ අතුරින් පිතිකරුවන්ගෙන් කැපී පෙනෙන දස්කම් පෑ කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසංලක සහ පැතුම් නිස්සංක ඉදිරියෙන්ම සිටිති. මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු අතර, ඉන්දියාවට එරෙහිව පැවැති සුපිරි 4 තරගයේදී චරිත් අසංලක කඩුලු 4ක් දවාලීමට සමත්වීම ද කැපී පෙනේ.

ශ්‍රී ලංකා පිලේ අනාගත තරුව

ශ්‍රී ලංකා පිලේ අනාගත තරුව බවට පත්වීමේ පෙරනිමිති පහළ කරමින් සිටින යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හැකි සෑම අවස්ථාවකදීම කණ්ඩායමට දායකත්වය ලබා දුන්නේය. ඔහු ඉන්දියාව සමඟ පැවැති සුපිරි 4 තරගයේදී පන්දුවෙන් දස්කම් පාමින් කඩුලු 5ක් දවාලූ අතර, පිත්තෙන් දස්කම් පාමින් නොදැවී ලකුණු 42ක්ම රැස් කළ අතර, ශ්‍රී ලංකා පිල තරගයෙන් පරාජයට පත්වූවද තරගයේ වීරයා සම්මානයට පාත්‍රවීමට ද සමත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදීයා

අවසන් මහා තරගය ලෙහෙසි පහසු නොවන බව කවුරුත් දනී. ඉන්දියාව යනු ඉතිහාසය පුරාම ආසියාවේ දී ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදීයා ය. එහෙත් ශ්‍රී ලංකා පිල පහසුවෙන් පරාජය භාර ගැනීමට කැමැති කණ්ඩායමක් ද නොවන බැවින් කුසලානය අයිති කාට දැයි වේලාසනින්ම තීරණය කිරීම හෝ අනාවැකි පළ කිරීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෝ පවා ප්‍රවේශම් වි සිටිති.

දෙපිලේහිම සියලු ආකාරයේ දස්කම් එක හා සමාන නොවූවද, සටන්කාමීත්වය හා පිටියේ වාසිය අතින් ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකා පිල බව පසුගිය තරග කිහිපය පෙන්නුම් කර තිබේ.

සැලසුම් සහගත බව කෙසේ වෙතත් අවශ්‍යම මොහොතේ ලකුණු රැස් කිරීමත්, හතරේ පහරක් අවශ්‍ය වෙද්දී හයේ පහරක් එල්ල කිරිමත්, පන්දු යැවීමේ හැකියාවට නොදෙවැනි පන්දු රැකීමත්, පළමුව පන්දුවට පහර දී නිදහසේ ලකුණු රැස් කිරීම වෙනුවට ලබාදෙන ඉලක්කය කෙතරම් වුව ද, හඹා ගොස් ජයගැනීමට ඇති හැකියාවත් නිසා ශ්‍රී ලංකා පිල ඉන්දියාවට වඩා ඉදිරියෙන් පසුවන බව විචාරකයෝ කියති.

ආසියානු කුසලාන  තරඟ ඉතිහාසය

 

  • 1984 පැවති ආසියානු කුසලාන තරගාවලිය – ඉන්දියාව

1984 පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ, ඉන්දියාව විසිනි. අනුශූරතාව දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. තරගාවලිය පැවැත්වුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. මෙහි අවසාන මහා තරගයක් නොපැවැත්වී ඇති අතර, රවුන්ඩ් රොබින් ආකෘතිය යටතේ ඉන්දියාව ශූරතාව දිනාගෙන තිබේ. ඒ සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇත්තේ, සුනිල් ගවස්කාර් විසින් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ, දුලිප් මෙන්ඩිස්ය.

  • 1986 පැවති ආසියානු කුසලාන තරගාවලිය – ශ්‍රී ලංකාව 

1986 පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ, ශ්‍රී ලංකාව විසිනි. අනුශූරතාව පාකිස්තානය විසින් දිනා ගත් අතර, තරගාවලිය පැවැත්වුණේ, ශ්‍රී ලංකාවේය. අවසාන මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ දුලිප් මෙන්ඩිස් වන අතර, පාකිස්තාන කණ්ඩායම මෙහෙයවූයේ, ඉම්රාන් ඛාන් විසිනි. කොළඹ එස්.එස්.සී පිටියේ පැවති අවසාන මහා තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 05කින් ජයග්‍රහණය කළේය.

  • 1988 දී ආසියානු කුසලානය – ඉන්දියාව

1988 දී ආසියානු කුසලානය දිලිප් වෙන්සර්කාර් විසින් ඉන්දියාවට රැගෙන යන ලදි. බංග්ලාදේශයේ පැවති තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේ, ශ්‍රී ලංකාවයි. නායකයා වූයේ, අර්ජුන රණතුංගයි. ඩකාහි බන්ගාබන්දු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

  • 1990-91 ආසියානු කුසලානය – ඉන්දියාව

1990-91 ආසියානු කුසලානය පැවැත්වුණේ ඉන්දියාවේ දී ය. එහි ද ශූරතාව දිනා ගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායම වන අතර, නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් බවට පත් විය. ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවූයේ, මොහොමඩ් අසාරුදීන් විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ, කැප්ටන් කූල් හෙවත් අර්ජුන රණතුංග විසිනි. කොලකටාහී ඊඩ්න්-ගාර්ඩ්න් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගය ඉන්දියාව දිනා ගනු ලැබුවේ, ශ්‍රී ලංකාව කඩුලු 07කින් පරාජයට පත් කරමිනි.

  • 1995 ද කුසලානය – ඉන්දියාව

පිට පිට තෙවැනි වතාවටත් ආසියානු ක්‍රිකට් ශූරයන් බවට පත් වූ ඉන්දියාව, 1995 ද කුසලානය සිය මව් රටට රැගෙන ගියේය. තරගාවලිය පැවැත්වුණේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේය. ඉන්දීය කණ්ඩායම නැවතත් මොහොමඩ් අසාරුදීන් හා ශ්‍රී ලංකා කණ්ඩායම ද නැවතත් අර්ජුන රණතුංග විසින් මෙහයවනු ලැබීය. සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගය, ඉන්දියාව කඩුලු 08කින් ජයග්‍රහණය කරන ලදි.

  • 1997 දී ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කුසලානය – ශ්‍රී ලංකාව 

1997 දී ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කුසලානය ශ්‍රී ලංකාව විසින් දිනා ගත්තේ, ඉන්දියාවට පිට පිට සිවු වැනි වතාවටත් ආසියානු කුසලානයක පහස ලබා ගැනීමේ වරම අහිමි කරමිනි. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ අර්ජුන රණතුංග විසිනි. ඉන්දීය කණ්ඩායමේ නායකයා වූයේ, ලිට්ල් මාස්ටර් හෙවත් සචින් ටෙන්ඩුල්කාර්ය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 08කින් ජය ගන්න ලදි.

  • 2000 වසරේ දී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය – පාකිස්තානය

2000 වසරේ දී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ, බංග්ලාදේශයේ දී ය. එහි ශූරතාව පාකිස්තානය විසින් දිනා ගත්තේ, මොයින් ඛාන්ගේ නායකත්වයෙනි. ඒ, පාකිස්තානය දිනා ගත් පළමු ආසියානු කුසලානයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සනත් ජයසූරිය විසින් මෙහෙයවීය. පාකිස්තානය ලකුණු 39කින් අවසාන මහා තරගය ජය ගත් අතර, තරග පැවැත්වුණේ, බන්ගාබන්දු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ය.

  • 2004 ආසියානු කුසලාන තරගාලිය – ශ්‍රී ලංකාව 

2004 ආසියානු කුසලාන තරගාලිය ශ්‍රී ලංකාව විසින් දිනා ගත් අතර, අනුශූරතාව දිනා ගත්තේ, ඉන්දියාවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වුණු තරගාවලියේ ජයග්‍රාහී නායකයා වූයේ, මාවන් අතපත්තුය. ඉන්දීය කණ්ඩායමේ වගකීම පැවරුණේ, සවුරව් ගංගුලිටය. ශ්‍රී ලංකාව විසින් ලකුණු 25කින් ඉන්දියාව අනුශූරයන් බවට පත් කළ එම තරගය පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ය.

  • 2008 දී පැවැත්වුණු ආසියානු කුසලානය – ශ්‍රී ලංකාව

2008 දී පාකිස්තානයේ පැවැත්වුණු ආසියානු කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට යළිත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලැබීය. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර, අනුශූර ඉන්දීය කණ්ඩායම මෙහයවූයේ, මහේන්ද්‍ර සිං දෝනි විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරාජය කළේ ලකුණු 100කිනි. කරච්චි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසාන මහා තරගය පැවැත්විණි.

  • 2010 පැවති ආසියානු කුසලාන තරගාවලිය – ඉන්දියාව

2010 පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ තරගාවලියේ ශූරයන් බවට පත් වූයේ ඉන්දියාවයි. නායකත්වයේ වගකීම් පැවරුණේ, මහේන්ද්‍ර සිං දෝනිට සහ කුමාර් සංගක්කාරටයි. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගයෙන් ඉන්දියාව ලකුණු 81ක ජයක් ලැබීය.

  • 2012 ආසියානු කුසලාන තරගාවලිය – පාකිස්තානය

2012 ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තේ, මිෂ්බා උල් හක්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමයි. ප්‍රථම වරට ආසියානු කුසලානයක අවසාන මහා තරගයක් සඳහා ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව හැර වෙනත් රටක් සුදුකම් ලැබුවේ එවර වීම විශේෂත්වයකි. පාකිස්තානයට ප්‍රබල තරගයක් දුන් අනුශූර බංග්ලාදේශය අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය තියුණු තරගයෙන් ලකුණු 02ක පරාජයක් ලැබීය. සත්කාරකත්වය දැරුවේ ද බංග්ලාදේශයයි. බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වූයේ, මුෂ්ෆිකර් රහීම්ය.

  • 2014 ආසියානු කුසලාන තරගාවලිය – ශ්‍රී ලංකාව

2014 වසරේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගත්හ. බංග්ලාදේශයේ ෂරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගයෙන් පාකිස්තානය පරදවා කඩුලු 05ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. අනුශූරතාව සඳහා පාකිස්තාන කණ්ඩායම වගකීම සියතට ගත්තේ, මිෂ්බා උල් හක්ය.

  • 2016 ආසියානු කුසලානය – ඉන්දියාව

2016 ආසියානු කුසලානය වසර හයකට පසු නැවත භාරතයට රැගෙන යාමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමට හැකි විය. එම අවසාන මහා තරගය ද පැවැත්වුණේ බංග්ලාදේශයේ ශරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. ඉන්දීය කණ්ඩායම සමඟ අවසාන මහා තරගයට ක්‍රීඩා කරමින් අනුශූරතාව දිනා ගත්තේ, මෂ්රාෆි මොර්තාසාගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ කණ්ඩායමයි. බංග්ලාදේශ කණ්ඩායම අවසාන මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ කඩුලු 08කින් පරාජයට පත් විය. මෙම තරගාවලිය පැවැත්වුණේ 20-20 තරගාවලියක් ලෙසය.

  • 2018 පැවති ආසියානු කුසලාන තරගාවලිය – ඉන්දියාව

2018 පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව නැවතත් ඉන්දීය කණ්ඩායම දිනා ගත්තේ, අවසාන මහා තරගයේ දී පසුගිය වසරේ ද අනුශූරයන් වූ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමිනි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තරගාවලිය පැවැත්විණි. ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවද්දී බංග්ලාදේශය මෙහයවූයේ මෂ්රාෆි මොර්තාසා විසිනි. අවසාන මහා තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

  • 2022 වසරේ පැවති ආසියානු කුසලානය – ශ්‍රී ලංකාව

අවසන් වරට 2022 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ප්‍රබල පසුබෑමක පසු වූ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව ප්‍රාණයක් එක් කරමින් කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ගේ මුවඟට සිනාවක් එක් කළේ, 2022 ආසියානු කුසලාන ශුරතාවයි. පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම කරට ගනිමින් කුසලානය දක්වා ශ්‍රී ලංකාව රැගෙන ගියේ නායක දසුන් ශානක විසිනි. ශ්‍රී ලංකාව සමඟ අවසාන මහා තරගයට ක්‍රීඩා කළේ බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යය සත්කාරකත්වය දැරූ තරගාවලියේ අවසාන මහා තරගය පැවැත්වුණේ, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

2023 වසරේ ආසියානු කුසලානය ?

Scroll to Top