ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු ඔස්ට්‍රේලියානු තල මායිමේ තවත් විශාල භූ කම්පන ප්‍රමාණයක් ඉදිරියේදී සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, භූ විද්‍යාඥ අතුල සේනාරත්න පැවසීය.
මඩකළපුවට ඔබ්බෙන් කිලෝමීටර 310ක පමණ දුරින් ඊසානදිග ගැඹුරු මුහුදේ 11 අලුයම 1.30ට පමණ සිදුවූ රිච්ටර් මාපක ඒකක 4.65ක් වූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්යවරයා ඉහත අදහස් පළ කළේ ය.
“පසුගිය පැය 10 තුළ ඉන්දු-ඔස්ට්‍රේලියානු භූ තලයේ මෙන් ම ඉන්දුනීසියාව හා ජපානය අතර භූ තලයේ භූ කම්පන 8ක් සිදුව තිබෙනවා. මේ කම්පන සියල්ල රිච්ටර් මාපක 4ට වැඩි ඒවා වශයෙන් වාර්තා වෙනවා.
මේ ගැඹුරු මුහුදේ සිදුවූ භූ කම්පනයෙන් අපේ රටට සුනාමි අවදානමක් නෑ. නමුත් නැඟෙනහිර වෙරළට කිට්ටු මුහුදේ මේ කම්පන සිදුවුවහොත් සුනාමි අවදානම උද්ගත වෙන්න පුළුවන්. පසුගිය කාල සීමාවේ විශාල වශයෙන් භූ කම්පන වාර්තා වුණා. මින් ප්රබලතම භූ කම්පනය වූයේ මොරොක්කෝවේ සිදු වූ භූ කම්පනය යි. එය ඉතා විශාල එකක්.
ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු ඔස්ට්‍රේලියානු තලයේයි. මේ තලය දැන් භූ තල දෙකක් වශයෙන් දෙකඩ වෙමින් පවතිනවා. මේ හේතුවෙන් පෘථිවිය අභ්‍යන්තරයේ සිදුවන වෙනස්වීම් මේ භූ කම්පනවලට හේතු වශයෙන් දකින්න පුළුවන්. දකුණු අර්ධගෝලයේ කිසියම් රටාවකට අනුව සිදුවන මේ භූ කම්පන අනුව ඉදිරියේදී භූ කම්පන රැසක් සිදුවන බව අපිට කියන්න පුළුවන්. කුඩා ඒවා වශයෙන් නොව විශාල විභව ශක්තියක් පිට කරමින් මහා පරිමාණ කම්පන සිදුවුවහොත් අපිට බලපෑම් වෙන්න පුළුවන්.”
mawbima