එක්දින ක්‍රිකට් තරග 13ක් අඛණ්ඩව ජය ගත් ලොව දෙවන කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා පිල ඊයේ රාත්‍රියේ සමත් විය. ඒ, ආසියානු කුසලානයේ සුපර් ෆෝ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ජය ගනිමින්.
කාසියේ වාසිය හිමිකර ගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව,සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 257කි.
සදීර සමරවික්‍රම ලකුණු 93ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 50කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 40ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 18ක් ලබා ගැනීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 48යි පන්දුවක් තුළ ලකුණු 236කට දැවී ගියේ ය.
දසුන් ශානක, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කඩුළු 3 බැගින් බිඳ හෙළුහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ අඛණ්ඩව ලැබූ 13වැනි ජයග්‍රහණය මෙය වීම ද, විශේෂත්වයකි.
ඒ අනුව අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජය ගත් දෙවැනි කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වූ අතර එක්දින තරග රටාව තුළ අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවා ගත් කණ්ඩායම ලෙස ද ශ්‍රී ලංකාව වාර්තා අතරට එක් විය.
මෙම වාර්තා ගත ජයග්‍රහණය ලැබූ ඊයේ දිනය ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ උපන්දිනය වීමද විශේෂත්වයක්. තරඟයේ වීරයා ලෙස නම් කෙරුණේ සධීර සමරවික්‍රමයි.
මේ අතර ලොවක් බලා සිටින ඉන්දු – පකිස්තාන තරඟය අද පැවැත්වෙයි.
මෙම තරගය අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි.
සුපිරි කණ්ඩායම් හතරේ තරග වටයේ මෙතෙක් පැවැති තරග වලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටීමට ප්‍රබල පාකිස්ථනය සමත්ව තිබේ.
එම සටහනේ දෙවැනි ස්ථානයේ ශ්‍රී ලංක පිල රැදී සිටී.
සුපිරි වටයේ තරග දෙකක් ක්‍රීඩා කළ බංග්ලාදේශය කිසිදු ප්‍රසාද ලකුණක් නොලබා තෙවැනි ස්ථානයේ රැදී සිටී.