Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

pubg ඇබ්බැහිය ගැන පාන් බට්ටාගේ මව කියන කතාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබා ඇත්තේ තම පුතු එය දුර දිග නොසිතා සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් බව ඩබ්ලිව්. දිල්රුක්ෂිකා වසන්ති (42) මහත්මිය පැවසුවාය.

එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබීමේ සිද්ධියකට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගෙන අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 08 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, 178/ බී මැඩියාව, එප්පාවල ලිපිනයේ පදිංචි 19 හැවිරිදි තරුණයකි. බේකරිය නිෂ්පාදන ජංගම අලෙවිකරුවකු ලෙස සේවය කරනු ලබන මෙම තරුණයා, ඊයේ (03) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවලදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ගොස් ඇත.

උතුරු මැද පළාතේ පැරණිතම පාසල වන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන 07 වන දින පස්වරු 03.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර, එහිදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය. එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුමට සමගාමීව සැප්තැම්බර් මස 05/06 දෙදින විද්‍යාල පරිශ්‍රයේදී අධ්‍යාපනික ප්‍රදර්ශනයක්, 06 වැනි දින පස්වරු 06.00 ට ධර්ම දේශණාවක්, සැප්තැම්බර් මස 07 වැනි දින දහවල් එකසිය පනස් නමක් විෂයෙහි දානමය පිංකමක් හා පස්වරුවේ ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය හා සමරු මුද්දරය නිකුත් කිරීම , සැප්තැම්බර් මස 08 දින පෙරවරුවේ රථ පෙළපාලිය හා පාගමනක් මෙන්ම,එදින පස්වරුවේ සංගීත ප්‍රසංගයක් මෙන්ම, සැප්තැම්බර් මස 09/10 දෙදින ආදී සිසු ක්‍රිකට් තරඟාවලියක්ද ලෙස සැමරුම් උත්සව මාලාවක් සංවිධානය කර ඇත.

අදාළ තරුණයා විසින්  (03) දින පෙරවරුවේ තම ෆේස් බුක් පිටුවේ “මේ කවුරු හරි ලඟ තියෙනවාද ස්නයිපර් එකක්…..” යනුවෙන් සටහනක් තබා ඇත.

එම සටහන සම්බන්ධයෙන්  ඔහු එප්පාවල පොලීසියට කැඳවා කරුණු විමසා ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ තරුණයා (03) රාත්‍රියේම කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.මේ වන විට අදාළ සටහනද එම තරුණයා විසින් සිය ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කර ගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලසුමක් හෝ අවශ්‍යතාවක් ඔහුට නොපවතින බවද අනාවරණය වී ඇත.අදාළ තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත්, ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් අනාවරණය වී ඇත. අදාළ තරුණයා ස්නයීෆර් ගැන දන්නේ කෙසේදැයි විමසා ඇති අතර, තමන් පබ්ජි වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා සිදු කරන බවත්, ඒවායේ දුර සිටින පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා ස්නයිෆර් යොදා ගන්නා බවත් පවසා ඇත.තමන් මෙම ෆේස්බුක් සටහන දුරදිග නොසිතා දැමුවක් බවද ඔහු පවසා ඇත.අදාළ තරුණයා පරිගණක හා ජංගම දුරකථන ක්‍රීඩා සඳහා තදින් ඇබ්බැහි වූවෙකු බවද පරීක්ෂණ නිළධාරීන් පවසයි.

අදාළ සිදු වීම සම්බන්ධයෙන් විමසීමට අප ඒ නිවසට ගිය විට ඩබ්ලිව්. දිල්රුක්ෂිකා වසන්ති (42) මහත්මිය කියා සිටියේ,

මගේ පුතා ෆේස් බුක් එකේ දාපු පෝස්ට් එකකට  (03) අත්අඩංගුවට ගත්තා, ඒක එයා බරපතලව හිතලා කරපු දෙයක් නෙමෙයි, විහිලුවට වගේ දාපු එකක්, නිකං දාපු සටහනක්, එයා අවි ආයුධ පාවිච්චි කරන්න තියා දැකලාවත් නැති කෙනෙක්, ඔය ස්නයිෆර් කියන වචනය පවා එයා දැනගත්තේ ගේම් ගහලා.එයා දරුණු කෙනෙක් නෙමෙයි.වයස අවුරුදු 19 යි මගේ පුතාට, අපි ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ, අපි කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ අය නෙමෙයි, එයාට අඩුම ඡන්දයක්වත් නෑ, එයා හිතන්නේ නැතිව කරපු දෙයක් මේක, මෙච්චර දුර දිග යයි කියලා හිතන්නේ නැතිව දාපු පෝස්ට් එකක්.කොලු කමට කරපු දෙයක් මේක. පරිගණකයෙන් එයා වෙඩි තියන ගේම් ගහනවා.ඒ නිසයි ඔය ස්නයිපර් කියන වචනයක් හරි දන්නේ.අපි ඉල්ලන්නේ සහනයක් දරුවාට ලබා දෙන්න කියලා යැයි පැවසීය.

ගම්වාසීන් හා අසල්වාසීන්ද මෙම තරුණයා කලහකාරී පුද්ගලයකු නොවන බවට පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල්

Scroll to Top