සුළුතර ආණ්ඩුවක් වශයෙන් ක්‍රියා කරනවාට වඩා මහ මැතිවරණයකින් බහුතර බලයක් ලබා ගෙන රට පාලනය කිරීම සුදුසු වන නමුත් එක්සත් ජාතික පක්ෂය එ සදහා අවස්ථාව ලබානොදෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.
මැතිවරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ තුළ පවතින බිය හේතුවෙන් මහ මැතිවරණයක් කරා යොමු වීමට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය ලබාදීමට ඔවුන් අකැමැති වී ඇතැයි අද (24) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී දිලුම් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට මෙවර ජනාධිපතිවරණයේදී විශාල පරාජයක් අත් වුණු බවත් එම මැති ඇමැතිවරුන් සමඟ යළි පක්ෂයට නැගී සිටීමක් අපේක්ෂා කළ නොහැකි යැයි කී දිලුම් අමුණුගම මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න අපේ ප්‍රශ්න නොවුනත් අප රජයක් බලයට පත්වීම තුළ එම පක්ෂයේ ප්‍රශ්න අපට සෘජුව බලපානවා. වසර හතර හමාරක කාලයක් තදබල ලෙස පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම අපේ රජයක් යටතේ අපි අපේක්ෂා කරනවා.
විපක්ෂ නායකධූරය සඳහා පොර ඇල්ලීමේ තරගයක් මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කුමන පාර්ශවයට අයත් වුවත් අපට ඒක අදාළ වන්නේ නැහැ. නමුත් එම ආණ්ඩුව නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලබා දීමයි අපි අපේක්ෂා කරන්නේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි හැකි ඉක්මනින් ක්‍රියාත්මක වීමයි අපගේ අපේක්ෂාව වන්නේ. එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට හෝ කැබලි කැබලි වලට කැඩී ගියත් ඒක අපට කිසිසේත්ම අදාළ කාරණයක් නොවේ.
පසුගිය පාලන සමය තුළදී ජනතා මුදල් විශාල වශයෙන් අවභාවිතා වුණු අවස්ථා තිබෙනවා. පසුගිය පාලනයේ සිදු කළා මෙන් බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීම අප සිදුකරන්නේ නැහැ. නමුත් නීතියානුකූල වශයෙන් ක්‍රියාත්මක වී අවභාවිතා වූ මුදල් ජනතාව අතට පත් කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.