Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය අද ඇරඹෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද (19) ආරම්භ වීමට නියමිතයි.

පෙරහැර මංගල්‍යය අද (19) සිට ලබන මස (03) වැනිදා දක්වා පැවැත්වෙන බව සඳහන් කරයි.

මේ අතර, වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

පෙරහැර කාලය තුළ කතරගම පූජා භූමිය , මැණික් ගඟ ඇතුළු ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් ගොඩගැසෙන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

ඒ අනුව පොලිතින් මලු වෙනුවට පරිසර හිතකාමී මලු ලබාදීම ඇතුළු පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා වෙයි.

ඉර හඳ පවතිනා තුරු කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා කිරීම පිණිස රජ අණක්ද ප්‍රකාශයට පත් කිරීම මත රුහුණු මහා කතරගම දේවාලයේ පුද පූජා කටයුතු වසර ගණනක සිට අඛණ්ඩව පවත්වා ගෙන එමින් කතරගම ඇසළ මංගල්‍යය ජාතික මංගල්‍යයක් ලෙස පැවැත්වේ.

ලාංකීය දෙවඟනක් වන වල්ලි දෙවඟනගේ අත ගැනීම පිණිස භාරතයේ සිට ස්කන්ධ කුමරුන් ලක්දිවට වැඩ වල්ලි දෙවඟන විවාහ කර ගත් බව දේවාල ඉතිහාසයේ සඳහන් වේ. කඳ කුමරුන් සමග ලක්දිවට පැමිණි නබිර් නමැති ඉෂිවරයා ද සිවලිංගම් නොමැති ඉෂිවරයා ද පැමිණි බවත් එම දෙදෙනාට ද කතරගම පුදබිමේ ස්ථාන 02ක් වෙන්වී තිබේ.

අද පූජා භූමියේ ඇති මුස්ලිම් පල්ලිය නබීර් ඉෂිවරයා මුල් කොට ගෙන පවත්වා ගෙන යමින් පවතී. සිවලිංගම් ඉෂිවරයා මුල් කරගෙන තේවානි අම්මා මඩම පිහිටා තිබේ. හිංදු, බෞද්ධ, මුස්ලිම් යන ජන කොටස් එකට එක්වී එකම දෙවියකු අදහන එකම පුදබිම ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍ර ස්ථාන ලෙස කතරගම හඳුන්වයි.

අප රට අල්ලාගත් විජාතික බලවේග හමුවේ ද කිසිදු අඩුවකින් තොරව දේවාලයේ සම්පත් (වස්තුව) සුරකිමින් දෙවියන්ගේ දෛනික තේවා සිදු කරමින් දුටු ගැමුණු මහා රජතුමාගේ රාජ්‍ය අණ ඉටුකර චාරිත්‍ර කිරීමට පාරම්පරික කපුමහතුන් ක්‍රියා කරමින් දේවාලයේ කටයුතු සිදු කරති.

නොමිලේ ලබා දෙන බත් දන්සැල්, රස කැවිළි දන්සැල්වලින් පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සංග්‍රහ ලබාදීමට බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සමග විවිධ ආයතන සූදානම් කරති.

පෙරහැර දැක බලා දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කර ගන්නා බැතිමතුන් දිය කැපීමේ චාරිත්‍රයෙන් පසුව මැණික් ගඟේ ජලය රැගෙන නැවත ලබන වසරේ පැමිණීමේ බලාපොරොත්තු ඇතිව හාරෝ හරා කියමින් සිය ගම්බිම් වෙත පිය මැන යයි.

Scroll to Top