වර්ෂ 1942 පෙබරවාරි මස 15 වනදා තුලා ලග්නයෙන් උපතලැබූ කුඩා සනත් බිළිඳාගේ දෙමාපියන් වූයේ හේරත් මුදියන්සේලාගේ විලියම් පෙරේරා මහතා සහ දෝන අමලින් කටුගම්පොල මහත්මියයි. සනත් බිළිඳා පවුලේ තුන්වැනි දරුවා වූ අතර ඔහුට වැඩිමල් සොයුරු රංජිත්, වැඩිමහල් සොයුරිය ඊඩා, බාල මලණුවන් නිමල් චන්ද්‍රසිරි සහ නැගණිය කුසුම් චන්ද්රපාලි පවුලේ සෙසු සාමාජිකයෝය.
පෙරවරුවේ ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයටත් පස්වරුවේ දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහලටත් අධ්‍යාපනය සඳහා යෑමේ විරල වරප්‍රසාදයක් කුඩා සනත්ට හිමිවිය. ඉතා හොඳින් අධ්‍යාපන කටයුතුවල නියැලුනද ඔහුගේ සිත සංගීතයට නිතැතින්ම අැදී ගියේය. ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීතමය වැඩසටහන් වලට සවන් දීමට ප්‍රිය කළ සනත්, ඉන්දියාවේ ප්‍රකට තබ්ලා වාදකයන්ගේ තබ්ලා වාදන අැසීමට බෙහෙවින් ප්‍රිය කළේය. නිවසේ පරිසරයද එයට බලපෑවේය. ගම සතුවූ එකම ග්‍රැමෆෝනයත් විවිධ භාෂාවන්ගෙන් ගැයු ගීත ඇතුලත් ගී තැටි රාශියක් නිවසේ තිබුණි. සිය පියාණන් නිවසේ සිටියදී ගයනා ගීත අසා ගායකයෙකු වීමේ ආශාව සිත තුළ මෝදු වුණු කුඩා සනත් ගමේ උත්සවයකදි තම වැඩ්මහල් සොයුරිය ඊඩා සමග තම මුල්ම ගායනය ලෙස “පායා පේනා චන්ද්‍රා සේමා” යන නව ගීතය ගැයුවේ වයස අවුරුදු පහේදීය. “සුචරිත වාග් වර්ධන ළමා සමාජයේ” සාමාජිකයෙකු වූ සනත් එහි නිත්‍ය කවි සහ ගීත ගායන ශිල්පියා විය. ළමා සමාජයේ සිටි කාලය තම ජීවිතය තව තවත් කලාවට නැඹුරු කර ගැනීමට ඉවහල් විය.
සනත්ට වයස අවුරුදු දොළහේදී පමණ ගමේ විදුහලට අලුතින් පත්ව ආ හේමතිලක දයාරත්න ගුරු මහතාගේ මග පෙන්වීම යටතේ සංගීතයේ මුල් අකුරු කියැවීමට අවස්ථාව ලද අතර සනත් යෞවනයට පියනගන කාලයේදී ඔහු සිත ඇදී ගියේ අවනද්ධ භාණ්ඩයක් වූ තබ්ලාව දෙසටය. හේමතිලක ගුරු මහතාගේ මග පෙන්වීම මත වැල්ලවත්ත සංගීත ආශ්‍රමයේදී ප්‍රවීන තබ්ලා වාදකයෙකුව සිටි මහේෂ් සින්නයියා මහතා යටතේ උත්තර භාරතීය රාගධාරී සංගීතය ප්‍රගුණ කිරීම ආරම්භ කරන කිරීම සනත්ගේ ජීවිතයේ නව පිටුවක් පෙරළීමකි.
1955 දී පමණ නන්දා ජයමාන්න මහත්මියගේ මග පෙන්වීම මත ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට ඇතුලත් වූ සනත් ගැයූ මුල්ම ගුවන්විදුලි ගීතය වූයේ ” මාලා ගන්ධ විලේපන ධාරා” නම් ගීයයි.එහි පද රචනය සූරියලතා කුරුප්පුආරච්චි රචිකාව වන අතර එහි සංගීතය නිර්මාණය කලේ හේමතිලක දයාරත්න මහතාය. සිව් වසරක් පමණ ළමා පිටියේ ගී ගැයූ සනත්, නන්දා ජයමාන්න, මඩවල එස් රත්නායක, ඇල්ෆ්‍රඩ් පෙරේරා, කරුණාරත්න අබේසේකර සහ සරත් විමලවීර යන මහත්ම මහත්මීන් කෘතවේදීව නිරතුරුවම සිහිපත් කරයි. ළමා පිටියේ ඔහුගේ සමකාලීනයන් වූයේ දයාරත්න රණතුංග, සරත් සන්දනායක, ඉන්ද්‍රානි විජේබණ්ඩාර, මල්ලිකා කහවිට, සුධර්මා ද සිල්වා, විජිත කුසුම් ලියනගේ, නොයෙලින් ලියනගේ සහ අමිතා වැදිසිංහ ආදීහුය. 1959 වසරේදී භාරතයේ සිට සංගීතය හදාරා පැමිණි වාද්‍ය විශාරද ඩී.ආර්.පීරිස් මහතාගේ පළමුවැනි ශිෂ්‍යයා ලෙස තබ්ලා වාදනය හැදෑරීමය ලැබීම භාග්‍යයක් ලෙස ඔහු සළකයි.
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ජ්‍යෙෂ්ඨය සමත්ව සිටි සනත් උසස් පෙළ හැදෑරීම සඳහා මහා බෝධි විද්‍යාලයටත් ස්ටැෆර්ඩ් විද්‍යාලයටත් ඇතුළු විය.පසු කාලයේදී රජයේ සංගීත විද්‍යාලයට අැතුළත් වූ සනත් එහි පළමු වසරේ හොඳම ශිෂ්‍යයා විය. එහිදී සනත් හා සමකාලීනයන් වූයේ වින්සන්ට් ප්‍රේමසිරි, විජේරත්න රණතුංග, රෝහිත විජේසූරිය වැනි හිතවතුන්ය. එහි අධ්‍යාපනය ලබන අතරතුරේදී 1960 දී ජිනදාස වික්‍රමසිංහ මහතාගේ සහාය මත සංගීතය හැදෑරීම සඳහා ඉන්දියාවේ ලක්නව් භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨයට අැතුළත් විය. එහිදී සනත්ගේ ආචාර්යවරු වූයේ ආචාර්ය ජී.එන්.නාටු, උස්තාද් මොක්ශුද් අලී, පණ්ඩිත් හරිශංකර් මිශ්රා සහ උස්තාද් රහිමුඩීන්ඛාන් ඩාගර් ආදීහුය. ගායනය හදාරන අතරම තබ්ලා වාදනය ප්‍රගුණ කිරීම උදෙසා සනත්ගේත් පියාණන්ගේත් සිහිනයක් වූ උස්තාද් අහමඩ් ජාන් තිරක්වා සංගීතවේදියාණන් සනත්ට ඉන්දියාවේදී මුණ ගැසීම දෛවෝපගත මංගල කරුණක් බඳුවිය. එකල ලක්නව් ගුවන් විදුලියේ ගායන ශිල්පීන් වූ කේවල් කුමාර ශ්‍රී වාස්තව, නෙල්සන් මසලාමනි , මනිරාම් වාල්මිකී ආදී තම සමකාලීනයන්ගේ ගී සඳහා තනු නිර්මාණයෙන් සනත් දායක විය.
වර්ෂ 1965 දී ගායනය සහ තබ්ලා වාදනය විශාරද උපාධි දෙකකින්ම ඉහළින්ම සමත් වූයේ එසමයේ ශ්‍රී ලංකාවේ ළාබාලම සංගීත විශාරදවරයා වීමේ භාග්‍යය ලබාගෙනය. 1966 ශ්‍රී ලංකාවට පැමිණි සනත්ට ලංකාවේදී සංගීතය සැපයීමේ මුල්ම අවස්ථාව 1966 අප්‍රේල් මස අගදී ලැබුනේ නුගේගොඩ නගරයේ එළිමහන් වෙසක් ගීත නාටකට සංගීතය සැපයීමට ලැබීමෙනි. සනත්ගේ සමීප හිතවතෙකු වූ රත්න දිසානායක සරෝද් විශාරදවරයාගේ ආරාධනයෙන් එම අවස්ථාව හිමිවිය. එහිදී සිදුවූ දෛවෝපගත සිදුවීම වූයේ සනත්ගේ ජීවිතයේ සෙවනැල්ල මෙන් සිටින තම ආදර බිරිඳ මල්කාන්ති එම සංගීත නිර්මාණ සඳහා ප්‍රධාන ගායිකාව ලෙස එදින කැඳවා තිබීමය. සනත් මල්කාන්ති යුවල එකිනෙකා හඳුනාගත්තේ එලෙසය.
ඉන්පසුව සනත් ගුවන් විදුලියේ ශාස්ත්‍රීය ගායනය පරීක්ෂණයකට පෙනී සිටි අවස්ථාවේදී එහි සංගීත අංශයේ ප්‍රධානියා වූ සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා මහතාගේ ආරාධනයෙන් “නවදැලි හේන” ගීත නාටකයට සිය ප්‍රථම සරල ගීතය ගායනා කළේය. සංගීත පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමටත් පෙර ලද එම අවස්ථාව නිසා එතැන් සිට ගීත නාටක කිහිපයකම ගී ගැයීමට සහ සංගීතය සැපයීමය ඔහුට අවස්ථාව උදා විය. එකල ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ සංගීත අංශ ප්‍රධානියා වූ පී.එල්.ඒ.සෝමපාල මහතාගේ ආරාධනයෙන් ඇවීලුණු ගිණිදැල් (විමලධර්ම ජයවීර), මහද පෙම්විලේ (බණ්ඩාර විජේතුංග), මිහිරාවී (ප්‍රේමකීර්ති ද අල්විස්) යන ගීත තැටිගත කළ සනත් තම මුල්ම යුග ගීතය “මිහිරාවී” සඳහා මල්කාන්ති සහභාගි කර ගත්තේය. අැවිළුණු ගිනිදැල් ගීතය රසිකයන් අතර ඉහළ ජනප්‍රියත්වයකට පත්විය. ගුවන් විදුලි වැඩසටහන් සඳහා නිරතුරු ආරාධනා ලැබූ සනත්ගේ සංගීත නිර්මාණ කෙරෙහි පැහැදුණු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙක්ම කළ ආරාධනා අනුව සනත් වේදිකා නාට්‍යය කිහිපයකටම සංගීතය සැපයුවේය. කාලගෝල දික්තලා, උල්කාපාත, දවල් හීන වැනි වේදිකා නාට්‍ය සඳහා එවකට ගායන ක්ෂේත්රයට පැමිණ සිටි මල්කාන්ති පීරිස් ඔහුගේ සියලුම ගීත නිර්මාණ සඳහා දායක කර ගැනීමට ඔහු පසුබට නොවීය.
ඒ කාලයේදීම සරල ගීත, ශාස්ත්‍රීය ගායනා සහ තබ්ලා වාදනය පිළිබඳ විශිෂ්ට ශ්‍රේණි තුනකින් සමත් වූ සනත් අද දක්වාම එම ශ්‍රේණි තුනෙන් යුත් සංගීතඥයන් තිදෙනා අතරින් එක් අයෙකි.
1966 සැප්තැම්බර් 07 අම්පාර උහන මහා විද්‍යාලයට සංගීත ගුරුවරයකු ලෙස මුල්ම පත්වීම ලද සනත් වසර තුනක් පමණ එහි සේවය කරන ලද අතර එම කාලයේදී අම්පාර දිස්ත්‍රික්කයේ ජනප්‍රියම ගුරුවරයාද වූයේය. නිර්මාණය කල නව ගීත ප්‍රචාරය වීමත් සමග එකල ලද ජනප්‍රියත්වය නිසා සංගීත ප්‍රසංග වලට සහභාගී විය යුතු බැවින් නිතර කොළඹ පැමිණිමට සිදුවිය. මෙසේ කාලය ගතවෙද්දී රජයේ සංගීත විද්‍යාලයට ගුරුවරුන් බඳවා ගැනීමේ පරී්ෂණයෙන් සමත් වූ සනත් 1969 දී ගායනය පිළිබඳව කථිකාචාර්ය වරයෙකු ලෙස වැඩ භාරගත්තේය. එවකට රජයේ සංගීත විද්‍යාලයේ විදුහල්පති වූයේ ආචාර්ය ලයනල් එදිරිසිංහ මහාතාය. කථිකාචාර්ය තනතුර සමග යළි සනත් අගනුවර පදිංචියට පැමිණියේය. ඔහුගේ කලා දිවියේ වර්තමාන තත්ත්වය ගොඩනැගුනේ මෙසේ අගනුවර පදිංචියට පැමිණිමත් සමගය. ගුවන් විදුලියෙන් සිය ගණනක් ගී ගැයූ සනත් ගුවන් විදුලියටද, සිය භාවපූර්ණ හඬ රසිකයන් අතරට ගෙන ගිය ගුවන් විදුලිය සනත්ටද නැතුවම බැරිවිය.
පණ්ඩිත් අමරදේවයන්ගේ ආරාධනයෙන් “සැඩොල් කඳුළු” චිත්‍රපටය සදහා “තෙරක් නැති ආශා” (රචනය – හෙන්රි ජයසේන) ගීතය ඔහු ගායනා කරන ලදී.1969 දී හන්තානේ කතාව චිත්‍රපටය සඳහා “අනන්ත වූ දෙරණ සරා”ගීතය ගැයුවේ ප්‍රේමසිරි කේමදාස, සුගතපාල සෙනරත් යාපා, විජය ධර්ම ශ්‍රී යන කලාකරුවන්ගේ ආරාධනයෙනි. විශ්මය චිත්‍රපටයේ ගීත ගායනා කිරීම සඳහා සංගීතවේදි සරත් දසනායකයන් සනත්ට ආරාධනා කරන ලදී. එම ගීත අතරින් “ලස්සනනම් නෑ පෙනෙන්නේ” ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඉන්පසුව සනත් විසින් ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, ඩී.ආර්. පීරිස්, සෝමදාස අැල්විටිගල, එම්.කේ.රොක්සාමි, එච්.එම්.ජයවර්ධන, වික්ටර් දළුගම, නිමල් මෙන්ඩිස්, සරත් ද අල්විස් වැනි සංගීතඥයින් සංගීතවත් කළ චිත්‍රපට රැසක ම ගී ගැයීය. අජාසත්ත, රන්මලීගෙ වාසනාව, මිහිඳුම් සළු, තුත්තිරි මල්, හරිමග, සාගරිකා ආදී චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂකවරයා වූ සනත් 1987 දී එච්.එම්. ජයවර්ධනයන් සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ එච්.ඩී.ප්‍රේමරත්නයන්ගේ “මංගල තෑග්ග” චිත්‍රපටය සඳහා ගැයූ “වාසනා වේවා” ගීතය සඳහා හොඳම ගායනය සඳහා වූ සරසවි සම්මානය ද සරත් වික්‍රම සංගීතවත් කළ ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දු ගේ “ඉන්ද්‍රඛීලය” චිත්‍රපටය සඳහ ගැයූ “පතිනියයි ඈ” ගීතය සඳහා හොඳම ගායනයට හිමි 2001 ජනාධිපති සම්මානයද හිමිවිය.
සනත් සංගීතය සැපයූ මුල්ම වෙසක් නාට්‍යය වූ “මාර පරාජය ” සඳහා ගායනයෙන් එක්වූ මල්කාන්ති පීරිස් සමග අැතිකරගත් සබැඳියාව තහවුරු කරගත් ඔවුන් දෙදෙනා දෙපාර්ශවයේම ආශිර්වාදය මැද 1971 දෙසැම්බර් 18 දා කොළඹ සමුද්‍ර හොටලයේදී පැවති විවාහ මංගල්‍යයෙන් මල්ඵල ගැන්වීය. විවාහයෙන් පසු සනත් මල්කාන්ති යුවල මල්කාන්තිගේ දෙමාපියන් ළඟ පදිංචි වූහ.මල්කාන්තිගේ පියා ප්‍රකට ඉංග්‍රීසි ගත්කතුවරයෙකු වූ හැරිසන් පීරිස්ය. මව රෙජිනා පීරිස්ය. ඇයද කිවිඳියකි. සනත් මල්කාන්ති යුවලගේ කුළුඳුල් දරුවා සන්ජේ මාධව ඉපිද දින තුනකින් මෙලොව හැර යයි. එම දුක් වේදනාව දරා ගනිමින් සිටි ඔවුන්ට 1974 පෙබරවාරි 14 වනදා තම ආදර දියණිය මෙලොවට බිහිවිය. ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන් ඇයට තැබූ නම වන්නේ නිශාමණී අනුරාධා ය.
1974 වසරේ දී සනත් සිය ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය වූ “ස්වර්ණ කුණ්ඩල” ආරම්භ කරන ලදී. එය සාර්ථකව ලංකාවේදී මෙන්ම විදේශ රටවලදීද පවත්වන ලදී.
1974 දී පසු කාලයේදී කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරන ලද “සංගීත විද්‍යාලය හෙවත් රජයේ ලලිත කලායතනයෙහි” කථිකාචාර්ය තනතුරට පත් සනත් 1988 සිට 1994 දක්වා කැළණිය විශ්ව විද්‍යාලයීය සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ සංගීත අධ්‍යනාංශයේ අංශාධිපති ධූරයේ කටයුතු කරන ලදී. 1994 වන විට සනත් සංගීත් නිපුන් පරීක්ෂයෙන් පළමු පෙළ සාමාර්ථයක් ලබා ගත්තේ එම පරීක්ෂණය සඳහා සහභාගී වූ පළමු ලාංකිකයා ද වෙමිනි. 2006.මාර්තු මස 06 වනදා සංගීතය පිළිබඳ මහාචාර්ය පදවිය ඔහු ලබා ගන්නා ලද අතර සෞන්දර්ය හා කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ මුල්ම පීඨාධිපතිවරයා ද වන්නේය. එසේම 2016 වර්ෂයේ සිට සෞන්දර්ය හා කලා විශ්ව විද්‍යාලයේ කුලපති වරයා ලෙස කටයුතු කිරීමටද ඔහුට අවස්ථාව ලැබී ඇත. විශ්ව විද්‍යාලයේදී ඉගෙනුම ලැබූ සහ ශාරදා කලා නිකේතනයේදී සහ මේ වන විට තම නිවසේ පවත්වාගෙන යන ගාන්ධාරී සංගීත ආයතනය මගින් පෞද්ගලිකවද ඔහුගෙන් සංගීතය හැදෑරූ, හදාරන සිසු පරපුර දහස් ගණනකි.ඔවුහු මෙරට සංගීත ක්ෂේත්රයේ මෙන්ම වෙනත් විවිධ ක්ෂෙත්රවල දස්කම් දක්වති. 1970 දශකයේ සිට තබ්ලා වාදනය ශිෂ්‍ය ශෂ්යාවන්ට උගන්වන ඔහු වෙතින් බිහිවූ ප්‍රථම තබ්ලා වාදන ශිල්පියා වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ය. අදටත් ඔහු තබ්ලා වාදනය සහ ගායනය පිළිබඳ දැනුම සිසු පරපුරට ලබා දීම සඳහා කැප වී සිිටියි.
1992 දී ලංකාවේ බිහිවූ ගායක ගායිකා සංගමයේ ප්‍රථම සභාපතිවරයා ලෙස සනත් නිතරඟයෙන්ම පත්විය. 1993 දී හෙතෙම සංගීතය සඳහා කළ අනූපමේය සේවය උදෙසා කලාශූරී සම්මානයෙන් පිදුම් ලැබීය. 1996 දි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ 1995 රාජ්‍ය සංගීත උළෙලේදී “ශ්‍රී ලාංකික සරල සංගීත ක්ෂේත්රයට සිදුකරන ලද විශිෂ්ට සේවාව උදෙසා” සනත් රජ්‍ය සම්මානයෙන් ගෞරව ලැබීය.
අතිශය සුන්දර , ආදරණීය, ගුණවත් මිනිසකු වන සනත් “නිසර්ග සිද්ධ ප්‍රතිභාවෙන් හා සංගීතය පිළිබඳ පුළුල් අවබෝධයෙන් නිර්මාණයට පිවිසි කලාකරුවෙකැයි” යන නිගමනයට එළඹීම සදහා ඔහුගේ මිහිරි ස්වතන්ත්‍ර නිර්මාණ රැසක් අපට අනුබල දෙයි.
මුතු පොටක ඇමුණු මුතු ඇට මෙන් එකිනෙකට නොදෙවෙනි මධුර ගීත රාශියක් නිර්මාණය කොට තම භාවාත්මක කටහඬින් එම ගීත ජීවමාන කළ, සිංහල සංගීත ක්ෂේත්රයේ තම ළකුණ ස්ථාවරව සනිටුහන් කළ ආදරණීයතම ගාන්ධර්වයා ඔහුයි.