අද (20) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම මි.මී. 50ට වැඩි තරමක තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සුළං දකුණ සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බව සඳහන්.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු ස්වභාවය දක්වා වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.
එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ එලෙස ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.