Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලගුණයෙන් රතු නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව පෙන්වා දෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළමු වන දින වනවිට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව ත් මෙහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගත හැකි බව ත් එම නිවේදනයේ සඳහන් වේ.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55ත් 60 අතර විය හැකි බවත් මුහුදු රළ මීටර් 2.00-3.00 අතර ඉහළ යෑමක් අපේක්ෂා කරන බවත් එහි දැක්වේ.

ඒ අනුව, දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගත හැකි බැවින් අද දිනයේදී (ජන. 31) සිට දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හෝ නාවික කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවන්ට පූර්ව අනතුරු නිවේදන නිකුත් කර ඇත.

දිවයින වටා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් යම් ආපදා, අවදානම් තත්ත්වයකදී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කර ගැනීම සඳහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකතන ඇමතුමක් ලබාදෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Scroll to Top