Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිදහස් සමරුවට සමගාමීව සෑම ඩිපෝවකටම නව බස් රථ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බිඳවැටී ඇති ග්‍රාමීය මාර්ගවල බස් රථ ධාවනය නඟාසිටුවීමට නිදහස් සමරුවට සමගාමීව සෑම ඩිපෝවකටම නව බස් රථ ලබා දෙන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඉන්දියානු ණය ව්‍යාපෘතිය මගින් ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ග්‍රාමීය මාර්ග වල ධාවනය යෙදවීම සඳහා බස්රථ බෙදාදීමේ වැඩසටහන යටතේ හෝමාගම ඩිපෝව වෙත ලැබුණු බස් රථයක් ජුගහයටදෙනිය ග්‍රාමීය මාර්ගය ඔස්සේ ධාවනයේ යෙදවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ අවස්ථාවේ රට තුළ දැවැන්ත මූල්‍ය අර්බුදයක් ආර්ථික අර්බුදයක් වගේම, පොදු ප්‍රවාහනය සම්බන්ධව ගැටලු රාශියක් ද පවතිනවා. ග්‍රාමීය මාර්ග වල ධාවනය වෙමින් පැවතුණු ඇතැම් බස්රථ පවා මේ වන විට ධාවනය නොවන තත්ත්වයක් මතුව තිබෙනවා.

මේ කරුණු ගැන අවධානය යොමු කරමින් ඉන්දියානු ණය ව්‍යාපෘතිය යටතේ මේ වසර තුල නව බස්රථ පන්සීයක් ග්‍රාමීය මාර්ග වල ධාවනයට යෙදවීමට අප කටයුතු ආරම්භ කර තිබෙනවා. 75 වන නිදහස් දිනයට සමගාමීව ක්‍රියාත්මක වෙන මෙම වැඩසටහන යටතේ බස්රථ 75 ක් මේ වන විට දිවයින පුරා ඩිපෝ වෙත ලබා දී තිබෙනවා. නිදහස් උත්සවයට සමගාමීව, පෙබරවාරි පස්වන දින උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයින පුරා සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි තවත් බස්රථ 150 ක් බෙදා දීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම සෑම බස්රථයක් වෙනුවෙන්ම මාසිකව ගෙවිය යුතු ණය වාරිකය, බස් රථය ධාවනය කිරීම තුළින් උපයන ආදායමෙන්ම ගෙවිය හැකි වන පරිදි වඩාත් සුදුසු මාර්ග වලට යෙදවීම සඳහා ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල නිර්දේශයන්ද සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීමට ඩිපෝ අධිකාරීවරුන් ඇතුළු නිලධාරීන්ට අප උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Scroll to Top