පොල් වගාවට සිදුවන සුදු මැස්සාගේ හානියෙන් පොල් කර්මාන්තයට පහරක් එල්ල වෙමින් පවතින බවත්, පොල් ත්‍රිකෝණයට අයත් පුත්තලම, කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව වෙනත් දිස්ත්‍රික්කයන්හි ද සුදු මැස්සා පැතිරයමින් ඇති බවත් පොල් වගාකරුවෝ පවසති.
එවන් පසුබිමක මේ වන විට සුදු මැස්සා ව්‍යාප්තව ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ හඳුනාගනිමින් පොල් සංවර්ධන නිලධාරින් හා අනෙකුත් කණ්ඩායම් එක් කරමින් සුදු මැස්සා තුරන් කිරීමට පොල් පර්යේෂණ ආයතනය හා පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු කරමින් සිටියි.
පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා නයනි ආරච්චිගේ මහත්මිය පවසා සිටියේ සුදු මැස්සා මර්ධනයට කිසිදු ලෙසකින් රසායනික දියර යොදා නොගන්නා බවයි.
එසේ නොකිරීමට හේතු ලෙස ඇය සඳහන් කළේ රසායනික ද්‍රව්‍ය යොදා ගෙන සුදු මැස්සා මර්ධනය කිරීම සිදු වුවහොත් සුදු මැස්සා ආහාරයට ගැනීමෙන් ස්වභාවික ජීවීන් විනාශ වීම වැළැක්වීම අරමුණ බවයි.
ඒ හේතුවෙන් සබන් කුඩු හා කොහොඹ මිශ්‍රණ යොදා ගනිමින් පොල් ගසට අධි තාක්ෂණික යන්ත්‍ර මඟින් ඉසීම සිදු කරන බව ඇය පවසයි.
පොල් පර්යේෂණායතනයේ සභාපති මල්රාජ් පීරිස් මහතා පවසන්නේ සුදු මැස්සා මර්ධනය කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් ඇති බවත් ඒ සඳහා පොල් වගාකරුවන් තම වගාවන් පිළිබඳව නිසි අවධානයෙන් සිටින ලෙසත් ය. පොල් කොළයේ යටි ප්‍රදේශයේ මෙම කෘමි සතා බිත්තර දැමීම හේතුවෙන් ඉන් පිටවන ශ්‍රාවය පොල් කොළය පුරා පැතිර ගොස් ගසේ ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වේ. මේ හේතුවෙන් පොල් ඵලදාව අඩු වේ. මෙම කෘමි සතා ව්‍යාප්තව සිටින පොල් ඉඩම්වල සෙසු ශාකවලට ද මෙම සතාගෙන් දැඩි බලපෑම් එල්ල වේ. විශේෂයෙන් කෙසෙල්, පේර, දෙළුම් ඇතුළු පළතුරු මෙන්ම මල් වගාවට ද හානි සිදු වේ.
සුදු මැස්සා විනාශ කරන පරපෝෂිතයන් සහ විලෝපිකයන් හඳුනාගෙන පොල් පර්යේෂණ රසායනාගාර තුළ ඔවුන් වර්ධනය කර පරිසරයට මුදා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.
ව්‍යාප්තිය අවම කිරීමට ගොවිජන සේවා වසම් මට්ටමින් පොල් සංවර්ධන නිලධාරින් ක්ෂේත්රවලට ගොස් ජනතාවට උපදෙස් ලබාදීමට මේ දිනවල කටයුතු කරන බව ද සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.
කෙසේ නමුත් සුදු මැස්සා පැතිරයාම වළක්වා ගැනීමට නොහැකි වුවහොත් මෑත කාලයේ පොල් වගාවේ අස්වැන්නට සිදු විය හැකි දරුණු හානිය මෙම සුදු මැස්සාගෙන් සිදු විය හැකි බව පොල් වගාකරුවන් පවසති.
මේ හේතුවෙන් පොල් වගාකරුවන්, පොල් සංවර්ධන නිලධාරින් හා ගොවිජන සේවා මධ්‍යස්ථානවල දායකත්වයෙන් මෙම සුදු මැස්සා මර්ධනයට කටයුතු ආරම්භ කළ යුතුව තිබේ.