Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

22 සම්මතයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පමණක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු සියලු මන්ත්‍රීවරු සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු (සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් හයදෙනෙක් සභාවේ නොසිටියහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, පවිත්‍රා වන්නිආරච්චි, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, එම පක්ෂයේ එම්.ඒ සුමන්දිරන් සහ ෂ්‍යානක්කම් රාසමානික්කම් එසේ නොපැමිණි මන්ත්‍රීවරු අතර වෙති.

චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

විසි දෙවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් අදහස් දැක්වූහ.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තනතුරු දැරීමේ අයිතිය අහෝසිවීම, ස්වාධීන කොමිෂන් සභාවලට බලතල ලැබීම, පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ඒ ආකාරයෙන්ම ලබාදීම ඇතුළු ප්‍රතිපාදන රැසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හිමිවනු ඇත.

අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඒ සදහා කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම ඒ උදෙසා අඛණ්ඩව නොසැලී පෙනී සිටි සිවිල් හා දේශපාලන බලවේගයන් වෙත සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ස්තුතිය පුද කරන බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“හිටපු ජනාධිපතිවරයාගේ අභිලාශයයන් ඉටුකරනු පිණිස 20 වැනි සංශෝධනය ගෙන එන්නට සූදානම් වූ අවස්ථාවේදී මෙන්ම එය සම්මත කරගැනීමෙන් පසුව ද ඊට එරෙහිව බලවත් ලෙස පෙනී සිටි සංවිධානයක් වශයෙන් මෙම අවස්ථාවේදී අපි නැවතත් අවධාරණය කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් ජනතාවගේ ගරුත්වය හා අපේක්ෂා තහවුරු කරනු පිණිස 22 වැනි සංශෝධනය ප්‍රමාණවත් හා අවසන් තීරණාත්මක පියවර ලෙස විශ්වාස නොකරන බවය. අද දවසේ පාර්ලිමේන්තුව ගත් මෙම තීන්දුව අප සලකන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තෙක් තහවුරු කර ගතයුතුව තිබූ ඉතා වැදගත් අන්තර්කාලීන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවක් ලෙසය. මෙය සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස අප සලකන්නේ ඒ අනුවය.

ජාතික ඒකාග්‍රතාවය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතාවගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් වූ සුවිශේෂී වගකීමක් පුරවැසියන් ලෙස අප සියල්ලන් වෙතම පැවරී තිබේ. අද දවසේ ලත් මෙම ජයග්‍රහණය ශක්තියක් බවට යොදා ගනිමින් ඒ සදහා පෙරමුණ ගන්නා ලෙස මේ රටේ සියළුම දේශපාලන බලවේගයන් වෙතින් මේ මොහොතේ අපි ඉල්ලා සිටින්නෙමු.

ඒකාධිපති පාලනයකට රට යොමු කරන විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත්, මහා පරිමාණ දූෂණ රටින් බැහැර කිරීමටත්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරියේදීත් පෙරමුණු ගනු ඇත.

Scroll to Top