මේවන විට රටේ වැඩි දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ අභිනවයෙන් හෙට දිනයේ පත්වන ජනාධිපතිවරයා සම්බන්ධවයි.
ඒ අනුව ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළා.
රනිල් වික්‍රමසිංහ ,ඩලස් අලහපෙරුම සහ අනුර දිසානායක මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇති බවත් එම නම් තමා විසින් පිළිගන්නා බවත් මහ ලේකම්වරයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (20) පැවැත්වෙන පාර්ලිමේන්තු ජනපති ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබා නොදෙන බව මින් ඉහත ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළ නමුත් ඊයේ ඔවුන් කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය යළි වෙනස් කර තිබේ.
වරින්වර විවිධ අරමුණු අනුව වෙනස්කරන ප්රතිපත්තියක සිටින ශ්‍රීලනිප කණ්ඩායම මෙවර ඩලස් අලහප්පෙරුමට ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි දැනගන්නට ලැබේ.
ශ්‍රීලනිප වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කතානායක ධුරය බාර ගන්නැයි ඩලස් – සජිත් පාර්ශවය විසින් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර සජිත් – ඩලස් දෙපාර්ශ්වය අතර ඇතිවූ සාකච්ඡා වලින් පසු සම්මුති ආණ්ඩුවක ජනපති හා අගමැති ලෙස දෙදෙනා තනතුරු බෙදාගන්නටත් එක් අයෙකු තරගෙන් ඉවත්වී රනිල් විරෝධී කඳවුර ශක්තිමත් කර ජයග්‍රහණය කරවන්නටත් තීන්දුවක් ගත් බවට ඉඟි ලැබී තිබුණි.
අද 20 පැවැත්වෙන පාර්ලිමේන්තු ජනපති සටනේදී රනිල් වික්‍රමසිංහට ලැබෙන ඡන්ද ප්‍රමාණය අභිබවා යන්නට ඩලස් හා සජිත් දෙපාර්ශවයේ එකඟතාවක් ඇතිකරගෙන එක් අපේක්ෂකයෙකු යෙදුවොත් හැකි බවයි.
ඒ අනුව ඩලස් හෝ සජිත් එක් අයෙකු ජනපති පදවිය ලබාගන්නා අතර අනෙක් තැනැත්තා තරගයෙන් ඉවත්වී ජනපති ධූරය වෙනුවට අගමැති තනතුර ලබාගෙන ඇමති මඩුල්ලක් සමග ඒකාබද්ධ රාජයක් පිහිටුවන්නට සාකච්ඡා පැවැත්විණි.
ඒ අනුව තමන් ජනපති සටන වෙනුවෙන් තරගයෙන් ඉවත්වී ඩලස් පාර්ශ්වයට සිය ඡන්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව සජිත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ඇත.
තම පක්ෂය මගින් යෝජනා ස්ථිරත්වයට පත්කළ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම හෙට 20 ජනපති ධූරය ලබා ගන්නට සමත්වන්නේ නම්, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙක සමඟ එකතු වී දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ජනතාවගේ අපේක්ෂාව බවයි.
හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුමට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.
මුස්ලිම් කොංග්‍රසය, පොහොට්ටුවේ කොටසක් හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ කොටසක්ද ඩලස්ගේ සහයට සිටිනු ඇති බැවින් අද තියුණු තරගයක් දැක ගත හැකිවනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
අද දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 17 දෙනෙකු රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් එකොළොස් දෙනෙකුම රනිල් වික්‍රමසිංහට සහාය දෙනු ඇති බව ද වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයේ ද මන්ත්‍රීවරුන් බහුතර ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහට සහාය දීමට මේ වන විටත් එකඟතාවයට පැමිණ තිබේ.
තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතර බොහෝ දුරට වික්‍රමසිංහට සහාය දෙන ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ද දැනගන්නට තිබේ.
රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලබාගැනීමේ අරමුණින් මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
බන්ධනාගාරගතව සිරදඬුවම් විදින රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කිරීම වැඩබලන ජනාධිපතිවරයාගේ දේශපාලන උපක්‍රමයක් විය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.
කිසියම් දේශපාලන කණ්ඩායමක් ආකර්ෂණය කිරීමේ කරගැනීමේ උපායක් ලෙස මෙය වැඩබලන ජනාධිපතිවරයා විසින් පාවිච්චි කරමින් ඇතැයි ද ඇය සඳහන් කළාය.
වික්‍රමසිංහ ජනාධිපති ලෙස තේරී පත්වුවහොත් ඔහුට එරෙහිව විරෝධතා මතු වී රට ලේ විලක් වනු ඇතැයි ද පැවසූ අය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ තනතුරක් ලබා ගන්නවා නම් වඩා සුදුසු බව කියා සිටියාය.
කරුණු සියල්ලම සාරාංශ ගත කල විට පෙනෙන්නට තියෙන්නේ නැවත වතාවක් ජනතාව ගොනාට අන්දමින් ඩීල් පිට ඩීල් ගසන ආණ්ඩුවක් බිහිවීමයි.