ශ්‍රී ලංකා භූමි තලයට වරින් වර උරුම වූ දෑ බොහෝය. අතීත රජ දවස සිට මේ ධරණි තලයේ ස්ථාපිත වූ ඒ වටිනා සම්පත් ලංකා අතීතය රන් අකුරින් ලියන්නට පවා සමත් වූ ඒවා විය.
ලංකාව වරින් වර ආක්‍රමණය කළ විවිධ ජාතීන් පවා මෙරටට උරුම කර දුන් එවැනි වටිනා දෑ අදටත් මෙරට ආර්ථික පද්ධතියට සවියක් වී ඇති බවට නිදර්ශන අවශ්‍ය නැත.
එහෙත් ලංකා මාතාවට දායාද වූ එවන් බොහෝ වටිනා සම්පත් කාගේ හෝ වරදින් අද වන විට ක්‍රමයෙන් විනාශ වී යන්නේ ඊට වගකිවයුතු බොහෝ දෙනා දෑස් පියාගෙන සිටිද්දී වීම කනගාටුවට කරුණකි.
එවන් වූ මහා වටිනාකමක් ඇති ලංකා ආර්ථිකයට පවා ශක්තියක් වී තිබූ අද වන විට කිසිදු පාලකයකුගේ දෑස් නොගැටුණු ගල්ගමුවේ ගල් කොරිය ද එවැන්නකි.
මේ ගල් කොරිය පිහිටා ඇත්තේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුදුරුවකන්ද ග්‍රාම නිලධාරී වසමේය. පාදෙණිය දෙස සිට අනුරාධපුර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ බුදුරුවකන්ද පාසල අසලින් වම්පසට ඇති කාපට් ඇතිරූ මාර්ගයෙන් හැරී මීටර සියයක් පමණ ගිය පසු දකුණු පසට වන්නට මේ ස්ථානය පිහිටා ඇත.
ගල් කොරිය කියූ සැණින්ම මෙය සුළුවෙන් තැකීමට නම් කොහොමත්ම බැරිය.
මන්ද ඊට වඩා වටිනාකමක් මේ ගල් කොරියෙහි සැඟවී ඇති නිසාය. බ්‍රිතාන්‍යයන් ලංකාව සිය පාලනයට ගැනීමෙන් පසුව 1864 කාලයේදී ලංකාවේ දුම්රිය ධාවනය ආරම්භ කර ඇත.
විශේෂයෙන්ම ඒ ඔවුන්ගේ තේ සහ කෝපි උඩරට සිට මෙරට අගනුවර වෙත රැගෙන ඒම පහසු කර ගැනීම පිණිසය. එහි මුල්ම පියවර වූයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර 54ක දිගින් යුත් දුම්රිය මාර්ග පද්ධතිය ඉදි කිරීමය.
ඉන් පසුව ශ්‍රී ලංකාව පුරා බ්‍රිතාන්‍යයන් විසින් දුම්රිය මාර්ග ඉදි කිරීම ආරම්භ කළ අතර පසුව ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ දුම්රිය සේවාව ව්‍යාප්ත කිරීමට ඔවුන් කටයුතු කළහ.
එහි පියවරක් වශයෙන් 1905 දී උතුරු දුම්රිය මාර්ගය ආරම්භ වූ අතර ඊට සමගාමීව ගල්ගමුව ගල් කොරියද ආරම්භ කර ඇති බවට අප සෙවූ තොරතුරු සාක්ෂි සපයන්නේය. කෙසේ වෙතත් මෙවන් වූ ඉතිහාසයක් ඇති ගල්ගමුව ගල් කොරිය අද වන විට පත්ව ඇත්තේ කිසිවකුගේත් අවධානයක් නැති වස්තුවක් ලෙසිනි.
ඊට හේතුව වී ඇත්තේ පාලන ත්රන්ත්රයේම යම් යම් ක්‍රියාවන් බව අප සමඟ අදහස් දැක්වූ මේ ගල් කොරියෙහි සේවය කළ සේවකයෝ පවසා සිටියහ.
අයි. එම්. ඩී. රත්නායක මහතා,
”මේ ගල් කොරියට ගල් කැඩුවෙ මේ ආසන්නයේම තියන ලොකු ගල් නිධියකින්. ඒ කාලේ ඉංජිනේරු මහත්වරු මේ ගල වසර සීයකට තමා තක්සේරු කරලා තිබුණෙ. ඒත් වසර 50ක් වත් මේ ගලෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ. ඒ නිසා මේ ගල් කොරියෙ කටයුතු ටික ටික අභාවයට යන්න පටන් ගත්තා. උතුරු දුම්රිය මාර්ගයට විතරක් නෙමේ.
නැඟෙනහිර දුම්රිය මාර්ගවලටත් අපි තමා මේ කොරියෙන් ගල් දුන්නේ. ඒ වගේ ලොකු රාජකාරියක් මේ ගල් කොරියෙන් ඒ කාලේ ගත්තා. කොහොමහරි ප්‍රේමදාස මහත්තයා බලයට ආවට පස්සෙ මේ ගල් කොරියෙන් ලාභයක් ලබන්න බෑ කියලා මේක “ඇමරන්” කියන සමාගමකට දුන්නා. ඒ සමාගම පෞද්ගලික සමාගමක්. ඒ අය ටික කාලයක් මේක කරගෙන ගියා. එහෙම කළේ ඒ අයට අවශ්‍ය යන්ත්රසූත්ර මේ කොරියෙන් අරන් යන්න සැලසුම් කරන්න.
අන්තිමට එයාලා සැලසුම් කරපු විදිහට මේ කොරියෙ තිබුණු වටිනා යන්ත්‍ර රැසක් ඒ කම්පැණියෙ නිලධාරීන් අරගත්තා. පස්සෙ තමා මේ ගල් කොරිය වැහුණෙ.
ඇත්තටම මැතිනියගෙ කාලේ නියම පාලනයක් ඇතුව කරගෙන ආව මේ ගල් කොරිය අදටත් තිබුණා නම් මේ වෙද්දිත් ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලොකු ශක්තියක් බව අහන්න දෙයක් නෙමේ.”
කෙසේ වෙතත් ගල්ගමුව ගල් කොරිය සේම විශාල තවත් ගල් කොරියක් අඹේපුස්ස ප්‍රදේශයේ ද ඒ වකවානුවේදීම ස්ථාපිත කර තිබේ. මේ වන විටත් එහි කටයුතු සක්‍රිය අයුරින් සිදු වෙමින් පවතින අතර ගල්ගමුව ගල් කොරියට කණකොකා හඬා ඇත්තේ වගකිවයුතු බලධාරීන් ද දෑස් පියාගෙන සිටි නිසාවෙනි.
පාලන තන්ත්රයේ අඩුපාඩුකම් මේ ගල් කොරිය විනාශ වන්නට තරම් සෘජු බලපෑමක් එල්ල කරන්නට ඇත. සේවකයන් පවසන අයුරින් නම් “කොමිස්” වන විෂය එකල මෙරට පාලනය කළ පාලකයන්ගේත් මෙහි සේවය කළ පාලන නිලධාරීන්ගේත් එකම එල්ලය වී තිබුණාදැයි ඊළඟට මතුවන ගැටලුවකි.
එය තමන් බලාපොරොත්තු වූ අයුරින් නොලැබීම නිසාම මේ ගල් කොරිය පෞද්ගලික ආයතනයකට දීමට තරම් ඔවුන් දෙවරක් නොසිතන්නට ඇත.
අයි. එම්. ඒකනායක මහතා,
”අසූඅට අසූනවම කාලයේ ජේ.වී.පී. කලබල අස්සේ ඒ මිනිස්සු මේ කොරියටත් හානි කළා. ඒ කියන්නේ මේකේ ගල් කඩන්න භාවිත කරන ඩයිනමයිට් තියෙන්නෙ වෙනම ගබඩාවල. ඒ මිනිස්සු ඇවිත් ඒ ගබඩා පිපුරුවා. එකක් යන්තම් ඉතුරු වුණා. ඒකේ ඩයිනමයිට් තිබ්බෙ නැති නිසා. අදටත් ඒක දකින්න තියනවා. තව තව දේවල් විනාශ කරලා දැම්මා.
ඒ ඇරුනාම මේ ගල් කොරි සංකීර්ණයේ තියනවා ඒ කාලේ නිලධාරීන්ට, පෝමන් මහත්තුරුන්ට ඉන්න හදපු නිල නිවාස, කාර්යාල. අද වෙද්දී ඒවත් නිකරුණේ විනාශ වෙලා යනවා. ඉතිං අපි ඉල්ලා සිටින්නේ මේ දේවල් මේ විදිහට විනාශ වෙලා යන්න නොදී මොනා හරි ප්‍රයෝජනවත් දේකට ලබා ගන්න කියලා.”
අයි. එම්. ඩී. රත්නායක මහතා අවසන් වරට මේ සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.
”මේ යන්ත්රසූත්ර මොනවද කියලා දැන් ඉන්න ළමයි තියා සමහර වැඩිහිටියොවත් දන්නෙ නෑ. අපි මේ යන්ත්‍රවල වැඩ කළේ දැඩි වෙහෙසකින් උනත් අද මේවා කැලයට යටවෙලා යද්දි ඇස් පිච්චෙනවා වගේ දුකක් එනවා.
මොකද මේවා හරි කාර්යක්ෂවම වැඩ කරපු යන්ත්‍ර. ඉතිං මම රටේ පාලයකයන්ගෙන් වගේම සෘජුවම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ යන්ත්‍ර සූත්‍ර සංරක්ෂණය කරලා අනාගත දරු පරපුර වෙනුවෙන්වත් රැකගන්න කටයුතු යොදන්න කියලා”
ඒ ඔවුන්ගේ දැඩි ඉල්ලීමය. එය එසේ වන්නේ ඔවුන් මේ යන්ත්‍ර මත ඇති තරම් දහඩිය හෙළූ නිසාය. එංගලන්තයෙන් ගෙනා ලංකාවටම ඇති යන්ත්‍ර දෙකෙන් එකක් මේ ආකාරයෙන් විනාශ වී යද්දීත්, වටිනා යන්ත්‍ර රැසක් කැලයට යට වී යද්දීත්, උතුරු දුම්රිය මාර්ගයට ගල් බෙදා වසර විස්සකටත් වඩා වැඩි කාලයක් වසා දැමූ මේ ගල් කොරිය ලංකාවට වටිනා සම්පතක් බව කියන්නට තවත් කරුණු අවශ්‍ය නැත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් ඇතුළු රටේ ජනාධිපතිතුමන්ගේ අවධානය ද මේ වෙනුවෙන් යොමු කර මෙය සංරක්ෂණය කිරීමට ඔවුන්ගේ අවධානය යොමු වේ නම් එය අනාගතයේ දරු පරපුර වෙනුවෙන් විශාල දයාදයක් වනු ඇත.
එම්.එම්. ක්‍රිෂාන් – ගල්ගමුව සමූහ