ආහාර හා පෝෂණයේ මිනිසාගේ ජීවය පවත්වාගන්නට අවශ්‍ය ශක්තිය ලබා දීමේ ආරම්භය සිදු වූයේ වසර දහස් ගණනක් මුළුල්ලේ සිට පැවැත එන හෙළ කෘෂිකර්මාන්තයෙනි.
දේශීය ගොවියාගේ ශ්‍රමය, අත්දැකීම් හා දැනුම මඟින් ගොවිතැන නඟා සිටුවීමේ හැකියාව අතීතයේ සිට වර්තමානය දක්වා දිනෙන් දින පෝෂණය වී වැඩි දියුණු වූවකි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවත්නා ජෛව විවිධත්වය, රෝප භෝග රෝපණ උපාංග, විශේෂිත වූ ආරක්ෂණ ගබඩාවක් ලෙස ද සැලැකීමට හැකිය. අප රටේ දේශගුණය, පස, වර්ෂාපතනය, පළාතෙන් පළාතට වෙනස් වන බැවින් කෘෂි කර්මාන්තයේ දී එක් එක් පළාතට ආවේණික භෝග වර්ග වගා කිරීම ඉතා පහසු කටයුත්තක් විය.
අනුරාධපුරය,පොලොන්නරුව,මහනුවර වැනි අගනගරයන් එකල දේශීය කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබිණි. මේ කාලයේ වාරි කර්මාන්තය, ජල ඉංජිනේරු තාක්ෂණය කෘෂි කර්මාන්තය සදහා බෙහෙවින් ප්‍රයෝජනවත් විය. වැසි ජලය රඳවා තබා ගැනීම සදහා විශාල වැව් ඉදිකිරීම ඇරැඹුනේ ද මේ කාලයේ දීය.
මෙසේ විකාශනය වෙමින් ආ හෙළ කෘෂිකර්මාන්තය 1984 වර්ෂයෙන් පසුව විවිධ රාජය අනුග්‍රහයන් සහිතව වර්ධනය වූ අතර, ජාන සම්පත් බෙදා හැරීමෙන් නව මාවතකට අවතීර්ණ විය. අප රටේ ප්‍රධාන භෝගය ලෙස වී වගා කෙරෙන අතර, විවිධ වී විශේෂ 2800 ට අධික සංඛ්‍යාවක් අතීතයේ සිට මේ දක්වා හදුනාගෙන තිබේ.
පාරම්පරික වී ප්‍රභේද පළිබෝධ හා රෝග ආදියට ඔරොත්තු දීමේ හැකියාවෙන් ද යුතුය. මේ වී වර්ගවල ප්‍රමාණය ගුණාත්මක භාවය ඖෂධීය ගුණයෙන් ද යුතුය. වී වලට අමතරව, අමු කුරක්කන්, මෙනේරි , සෝගම් හා බඩ ඉගුරු වැනි ධාන්‍ය වර්ග,කව්පි, සෝයා බෝංචි, දඹල,රට කජු වැනි මාංස භෝග වර්ග,කෙසෙල්,දොඩම්,දෙහි,අඹ, අලිපේර ආදී පලතුරු විශේෂ, පලා වර්ග, ඖෂධීය ශාක වර්ග,එළවළු, ගම්මිරිස්, එනසාල් , කුරුදු වැනි කුළු බඩු විශේෂ ආදීන්ගෙන් පොහොසත්ය. දේශීය බුලත් සහ මිරිස් විශේෂ ගණනාවක් ද ඇත.
වගාවේ දී පාරිසරික හා සමාජ තත්ත්වයන් පිළිබද අවධානය, පාරම්පරික ශිල්ප ක්‍රම, විශ්වාසයන්, රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම.සංරක්ෂණ ක්‍රම පිළිබදව අවධානය යොමු කෙරේ.
පරම්පරාගතව පැවත එන දේශීය දැනුම, අත්දැකීම් කුසලතා ජන සමාජයේ තොරතුරු මූලාශ්‍රය වූ අතර, ස්වාභාවික සම්පත් පරිහරණය සදහා ගොවියාට විශේෂ අවබෝධයක් තිබිණි.
පාරම්පරික ගොවිතැන් ක්‍රම අතර,පහත් බිමි වල වී ගොවිතැන,ගෙවතු වගාව , හේන් වගාව , උස් බිම් වල එළවළු වගාව, වේලි මත වගා කිරීමේ ක්‍රමයන් වඩා ජනප්‍රිය විය. මෙයින් ශ්‍රී ලංකාවේ වඩා ප්‍රචලිත වන්නේ පහත් බිම් වල තෝරා ගත් වී වගාවයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ගෙවතු වගාවෙන් යුතුය.
හේන් වගාව වාරි ජලය නොමැතිව වැසි ජලයෙන් පමණක් උස් බිම් වල වගා කෙරෙන්නකි. හේන ගොවිතැන තැනින් තැනට සංක්‍රමණය වෙමින් වගා කෙරේ. ප්‍රධාන වශයෙන් යොදා ගනුයේ ගෘහස්ථ පරිභෝජනය වෙනුවෙන්ය.
වෙෙළද පොළ සදහා යොමු කෙරෙන්නේ ඉතා අඩු ජල ප්‍රමාණයකි. කන්නයෙන් කන්නයට ශෂ්‍ය මාරු ක්‍රමයට ද වගා කෙරෙන අතර, හේන මිශ්‍ර භෝග වගාව ද සිදු කොර්.
වී වගාවේ දී මී හරකුන්ගේ ශ්‍රමය යොදා ගැනීමද පාරම්පරිකව පැවත ආ සිරිතකි. පොළොව සැකසීමට නඟුල් පෝරු යොදා ගැනීම, වේලි සහිතව ගොවි බිම සකස් කිරීම, ජලය සැපයීමේ කානු පද්ධති සැකසීම, පොළොව පුලුස්සා දැමීම තවත් වගා ක්‍රමවේද කිහිපයකි. වී වගාවෙන් අනතුරුව නියර මත බෝංචි, මුං ඇට , කව්පි , කුරක්කන් හෝ එළවළු වගා කෙරේ.
විශේෂයෙන්ම එකල ගොවියා සතුව පැවැති පාරම්පරික කෙම් ක්‍රම ඒවා අතීතයේ මෙන්ම වර්තමානයේ දී ද භාවිත කෙරේ. මේවා කෙම් ක්‍රම, ශාන්ති කර්ම, පූජා විධි, ගාථා,පැළෑටි, යන්ත්‍ර සූත්‍ර , පිරිත් ආදිය භාවිතා විය. දෙවි දේවතාවුන් හා බුද්ධ වන්දනාව ද යාඥා කිරීම, මැතිරීම ආදිය කෙම් ක්‍රම වශයෙන් සැලැකිණි.
වී වැපිරීමට පෙර භාවිතා කරන කෙම් ක්‍රම අතර, බිත්තර වී වැඩීම,වී යහන කැඩීම, ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම සුබ වෙලාවන් හිදී වැපිරීම හෝ පැළ සිටුවීම, තිත්ත කොළ සාත්තුව , පැන් මැතිරීම ද තවත් ක්‍රමයකි. ගොයම් පැළය සම්පූණයෙන් වැඩෙන තුරු කෙම් ක්‍රම සිදු කෙරේ. කමතේ දී අංගම් වැඩීම, අස්වනු නෙළීමෙන් පසුව දෙවියන් පිදීම, අලුත් සහල් මංගල්‍යය හා කතරගම දෙවියන් පිදීම ද තවද චාරිත්‍රයකි.
වී ගොවිතැනට අමතරව වෙනත් භෝග වර්ග වගාවේ දී භාවිත කෙරෙන කෙම් ක්‍රම ලෙස කෘමි පාලනය සඳහා කදුරු ලීයකින් ඉනි වැට පිරීම, කොහොඹ තෙල් පන්දම් දැල්වීම,තලියට ගැසීම,පොල් කෝම්බා සිටුවීම, දාස් පෙතියා මල් හා කොළ පොඩි කිරීම ද භාවිතා කෙරෙයි.
මීට අමතරව වගාවට පැමිණෙන කුරුල්ලන් එළවීම සඳහා ගල් මැතිරීම, මරං අතු එල්ලීම, කොළපත් එල්ලීම, කයිල වැල් කෝටුවෙන් හොඬල රබාන ගැසීම සිදු කරයි.
වෙනත් සතුන් හා පළිබෝධයන් සදහා හිස කෙස් කොට දැමීම,ගදපාන කොළ පොඩි කිරීම,ගොක් අතු එල්ලීම, වගා බිම් වටා වැල් ඇදීම හා පුනා කොළ සාත්තුව තවද ක්‍රමයකි.
පාරම්පරික ගොවියා නිරන්තරයෙන්ම බීජ හා රෝපණ ද්‍රව්‍ය ගබඩා කර සංරක්ෂණය කර ගන්නෙකි. එබැවින් ඊළග කන්නය සදහා අවශ්‍ය බීජ ආරක්ෂිතව තබා ගැනීමට විවිධ ක්‍රම වේද අනුගමනය කිරීම සිදු විය.
අස්වනු නෙළීමේ දී හෝ අස්වනු නෙළීමෙන් පසුව ගබඩා කිරීමට බීජ සැකසීම සිදු කළ අතර,මෙහිදී බීජවල මඩ හා පස් , නරක් වූ බීජ ඉවත් කෙරෙයි. බීජ වර්ග හිරු එළියේ වියළා ගැනීමෙන් පසුව ගබඩා කිරීම සිදු කෙරේ.
වී සංරක්ෂණ ක්‍රම ලෙස අටුවෙහි දැමීම, වී බිස්සෙහි තැන්පත් කිරීම, දුම් මැස්ස හා වී පෙට්ටියේ දැමීම සිදු කරයි. ධාන්‍ය හා මාංශ භෝග ලබු කැටයේ දැමීම, ඉරිඟු අටුව, දුම් මැස්සේ ගබඩාව හා බීජ අල මැටි ගැසීම,බීජ අල දහයියා සමග දැමීම, එළවළු බීජ භාවිතයේ දී අළු එක් කිරිම. රෙදි පොට්ටනියේ තැබීම,අම් පිරවීම හා ලාටු ක්‍රමයන් ද ප්‍රයෝජනයට ගැනේ.
පාරම්පරික ගොවි පවුල්වලටම විශේෂිත වූ ආහාර රටාවක් පැවති බැවින් වගා කරන ලද භෝග සතුන්ගෙන් ලබා ගත් අමු ද්‍රව්‍යය නිෂ්පාදන අතිරික්ත ලෙස ගබඩා කිරීම ද ඔවුන්ගේ සිරිතය.
ඒ අතර, වියළීම, ලුණු දැමීම, පැසවීම, සහ දුම් ගැසීම වැනි සරල ක්‍රම සුලබ ලෙස භාවිතා විය.හෙළ කෘෂිකර්මාන්තය විදහා දක්වන්නේ දේශීය සංස්කෘතිය වන අතර මිනිස් ජන ජීවිතයේ සිතුම් පැතුම් , ඇදහිලි, විශ්වාස හා ඔවුන්ගේ කුසලතාවන්ය. එමෙන්ම සාමය, සහජීවනය හා මානෂික ගුණාංගයන්ය.
අතීතයේ සිට පැවැත එන පාරම්පරික කෘෂිකර්මාන්තය , නවීන තාක්ෂණය මත පදනම් වූ වර්තමානය සදහා ද යෝග්‍ය වන අවස්ථා පවතී. එබැවින් මතු පරපුර වෙනුවෙන් හෙළ කෘෂිකර්මාන්තය අනාගතය සදහා රැගෙන යෑම අප සැමගේ වගකීමකි.
සමන්ති මිරියගල්ල
කඩුවෙල සමූහ