Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මොරගොල්ල හා බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘති කඩිනම් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මොරගොල්ල හා බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘති ද්විත්වයෙහි ප්‍රගතිය හා ගැටළු පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සූර්ය බල , සුළං හා ජල විදුලි ජනන ව්‍යෘපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්  එම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වසර 2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම පිණිස බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 35 ක විදුලි ධාරිතාවක් ද මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30.2 ක විදුලි ධාරිතාවක් ද ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් පසුගිය දා මෙම ජල විදුලි ව්‍යාපෘති නිරීක්ෂණය පිණීස නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය . එහි දී හඳුනාගනු ලැබූ ගැටළු කඩිනමින් නිරාකරණය කිරීම පිණිස අදාළ නිලධාරීන් දැනුවත් කිරීම පිණිස මෙම රැස්වීම පවත්වන ලදී.

ඒ අනුව මොරගොල්ල හා බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යෘපෘති කඩිනම් කිරීම පිණිස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව අදාළ ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර එම ගිවිසුම අත්සන් කිරීමට අදාළව පැන නැගී තිබූ ගැටළු සඳහා විසදුම් ලබා දීමද සිදු කරනු ලැබිණ .

කොවිඩ් – 19 වසංගතය හමුවේ අදාල ව්‍යෘපෘති සඳහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ මෙරටට ආනයනය කිරීම දිනෙන් දින ප්‍රමාද වී ඇති පසුබිමක ඒම හේතුව මත ව්‍යාපෘති කටයුතු ප්‍රමාදවීම වලක්වා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යතුමා විසින් අදාළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සිදු කරන ලදී.

ඒ් අනුව අවශ්‍ය භාණ්ඩ හා උපකරණ මිල දී ගැනීමට පෙර සිදු කරනු ලබන ප්‍රමිති හා තත්ත්ව පරීක්ෂාවන් සිදුකිරීම පිණිස ජෛව බුබුළු ක්‍රමවේදය අනුගමනය කරමින් විදෙස් රටවල් කරා යාම උචිත බව රාජ්‍ය අමාත්‍යතුමන් විසින් පෙන්වා දෙන ලදී.

අදාළ විදෙස් වෙළෙඳ ආයතන සමග සිදු කරනු ලබන සාකච්ඡා හා ලිපි ගනු දෙනු ආදිය Zoom Meeting හා online ක්‍රමයට සිදු කිරීම සෞඛ්‍ය ආරක්ෂිත බව පෙන්වා දුන් දුමින්ද දිසානායක මහතා, එය වඩාත් ලාබදායි , කාර්යක්ෂම හා කඩිනම් ක්‍රමවේදයක් බවද වැඩිදුරටත් පවසන ලදී.

එමෙන්ම මෙම තත්ත්ව පරීක්ෂා කටයුතු හේතුවෙන් ජල විදුලි ව්‍යාපෘති සංවර්ධන කටයුතු පමා නොවිය යුතු බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, මෙලෙස මිල දී ගනු ලබන උපාංගවල ප්‍රමිතිය සහතික කිරීම ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා දෙන තෙවන පාර්ශ්වයකට ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද සොයා බලන මෙන් අදාළ නිලධාරීන්ට දැනුම් දෙන ලදී.

මෙලෙස තෙවන පාර්ශ්වයකට ලබා දීම තුළින් උපාංග මිල දී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා මඟ හරවා ගනිමින් , උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ මිල දී ගැනීමට හැකි බව ද පෙන්වා දෙන ලදී.

මේ අවස්ථාව සඳහා සූර්යබල , සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් , ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති – එම් .එම් .සී ෆර්ඩිනෑන්ඩු , ලං.වි.ම සාමාන්‍ය අධිකාරී එම් . ආර් රණතුංග ,ලං.වි.ම ව්‍යාපෘති ඉන්ජිනේරු එන්. එස්.එම් ඒකකනායක, ලං.වි.ම ව්‍යාපෘති කළමනාකාර ඒ. එස්. ටී. තිලකරත්න , ඉඩම් කොමසාරිස් ජෙනරාල් ජී.ඩී කීර්ති ගමගේ , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු එස්.වී.එස්.ආර් සිරිවර්ධන , ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය පාලක – (පුපුරන ද්‍රව්‍ය) වී.ටී තිලකරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

Scroll to Top