ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දෙනු ලැබිණි.
මෙම පානීය ජල බෝතල්, සාමාන්‍ය වෙළෙඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව සඳහා එක් වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් දක්වන ලදී.
“පානීය ජල බෝතල් අළෙවි කිරීම මෙරට දිනෙන් දින දියුණු වන විශාල ව්‍යාපාරයක් බවට පත් ව තිබෙනවා. මේ හේතුවෙන් ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදා හැරීමත් වැඩි වී තිබෙනවා. එමඟින් පරිසරයට වන හානිය මෙතෙකැයි කියා නිර්ණය කළ නොහැකී.
මේ හේතුවෙන් අපි මෙරට තිබෙන විශාලතම අළෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා පානීය ජල බෝතලයක් රු.35කට අළෙවි කිරීම අද සිට ක්‍රියාත්මක කරනවා.
ඒ අනුව, ලංකා සතොස පානීය ජල බෝතලයක් භාවිතා කොට නැවත ලබා දුනහොත් රු.10/=ක වාසියක් ලබා දීමට සැලසුම් කොට තිබෙනවා. මේ නිසා සමස්ත රටටම මිළෙන් අඩු පානීය ජල බෝතලයක් ගුණත්වයෙන් ඉහළව ලබා ගත හැකි වනවා වගේම, පරිසරයට එක් වන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කිරීමට දායකත්වයක් සපයනවා.
මෙමඟින් අපි අනෙකුත් පානීය ජල බෝතල් අළෙවිකරන සමාගම් වලට අභියෝග කිරීමට කටයුතු කරන්නේ නැහැ. නමුත් මෙම බෝතල් නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය ඔවුන් ද භාවිතා කරන්නේ නම් පරිසරයට හිතකාමී ව්‍යාපාර කටයුත්තක් බවට ඔවුන්ගේ ව්‍යාපාරයත් පත් වනු ඇතැයි විශ්වාස කරනවා.
එමෙන්ම මේ පරිසර හිතකාමී ව්‍යාපෘතිය, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අප වෙත පැවරී ඇති වගකීම ඉටු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක්. පාරිභෝගිකයාට මෙවැනි යහපත් දේ ලබා දීමට කටයුතු කරන විට විවිධ විදේශීය බහුජාතික ව්‍යාපාර හා සමහර ස්වජාතික ව්‍යාපාර විසින් නීති මඟින් ද අපට එරෙහිව කටයුතු කර තිබෙනවා.
නමුත් අපි අපේ ජනතාව වෙනුවෙන් තවදුරටත් මෙවැනි සෞඛ්‍යයට හිතකර මෙන්ම පරිසරයට හිතකර ව්‍යාපෘති තුළින් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ කටයුත්ත සිදු කරන බව ප්‍රකාශ කළ යුතුයි.”
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී.රූබසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.