වෙසක් පොහෝ දිනයෙන් පසු දිනයේ සිට එළඹෙන කාලය හින්දු බැතිමතුන්ට “වයිහාසි” සමය වේ. වයිහාසි සමයේදී එළඹෙන පළමු සතිය “විශාඛම්” වශයෙන් හින්දු බැතිමතුන් හදුන්වයි. ඓතිහාසික වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීම සඳහා යොදා ගැනෙන්නේද විශාඛම් සතියේ සඳුදා දිනයයි.
වට්‌ටාපලෙයි කෝවිල පත්තිනි අම්මාගේ එක් පෙනී සිටීමක් ලෙස සලකන කන්නගි අම්මා දේව මාතාවට පුද පූජා පැවැත්වීම සිදු කරනු ලබයි.
වට්‌ටාපලෙයි කෝවිලේ පැවැත්වෙන චාරිත්‍ර අතර සුවිශේෂී වතාවත් ලෙස සැලකෙන්නේ මුහුදු ජලයෙන් පහන් දැල්වීමයි. එය හින්දු බැතිමතුන් “පාත්තු තෙන්වල්” නමින් හඳුන්වනු ලබයි. මුහුදු ජලය ලබා ගන්නේ වසර ගණනාවක සිට තෝරාගත් ස්ථානයකිනි. මුලතිව් මුහුදෙන් ජලය ලබාගෙන අලංකාර පෙරහරකින් කෝවිල කරා වඩම්මවයි.
වට්‌ටාපලෙයි කෝවිලේ මංගල්‍යය සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන්නේ මේ කෝවිලේ ඇතැයි කියන හාස්කම් නිසාය.
කෝවිලේ වාර්ෂික මංගල්‍යය සඳහා පහන් දැල්වීමට පැමිණෙන බැතිමතුන්ට ලබාදෙන්නේ මුහුදු ජලයයි. මුලතිව් මුහුදේ තෝරාගත් ස්ථානයෙන් ලබාගන්නා මුහුදු ජලයෙන් වෙනත් තෙල්වලින් මෙන්ම අපූරුවට පහන් දැල්විය හැකි වීම විශේෂත්වයකි.
කැලෑබද මාර්ගවලින් හින්දු ජනතාව මුලතිව් වට්‌ටාපලෙයි හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යයටද යාපනය, කිලිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල කෝවිල් භූමිය කරා ළඟාවෙයි.
සැතපුම් ගණනාවක් දුර ගෙවමින් පැමිණීම බාරහාර වීමේ සම්ප්‍රදායේ තවත් ලක්‍ෂණයක් බව ඔවුන් සලකයි.
දැඩි භක්‌තියකින් හා විශ්වාසයකින් වට්‌ටාපලෙයි කෝවිලේ හින්දු බැතිමතුන් වසර පුරාම භාරහාර වෙති.
මෙම කෝවිල සදහා බොහෝ බැතිමතුන් පැමිණෙන්නේ දරුඵල ලබා ගැනීමට, වසංගත රෝග වලින් සුවය ලබා ගැනීමට වූ භාරයන් ඔප්පු කිරීම පිණිසය. උදේ 7.00, දහවල් 12.00 සහා සවස 5.00 ට දිනපතා වට්‌ටාපලෙයි කෝවිලේ පුජාවන් පැවැත්වෙයි.
කෝවිල සම්බන්ධයෙන් පුරාවෘත්ත වල සඳහන් අතීත කථාව –
ඉස්සර මේ ප්‍රදේශයේ තරුණයින් පිරිසක් කුඹුරු වැඩෙහි යෙදෙමින් සිට ඇත. අදටත් මේ කෝවිල ආශ්‍රිත ප්‍රදේශයේ සරු සාර කුඹුරු යායවල් දැක ගත හැක. මෙම කුඹුරේ ගොවිතැන් කටයුතු වල නිරතව සිටි තරුණයන් අභියසට මහලු කාන්තාවක් පැමිණ තමාට කුසගිනි බැවින් තමන්ට ආහාර පිණිස යමක් දෙන ලෙස ඉල්ලා සිටිමින් කොහොඹ ලීයකින් කළ නගුලක් මත වාඩි වූවාය. ආහාරයට අවශ්‍ය මොනවාදැයි ඇයගෙන් විමසූ තරුණයන්ට පවසා ඇත්තේ තමන්ට කිරිබත් අවශ්‍ය බවයි. අනතුරුව කිරි දෙනකගෙන් ලබාගත් කිරි උතුරවා එයට සහල් එක්කොට කිරිබත් පිස මෙම කාන්තාවට පිළිගන්වා ඇත.
මේ කටයුතු නිමවෙන විට රාත්‍රිය උදාවී තිබේ. එබවින් අවශ්‍ය ආලෝකය සපයා ගැනීමට මෙම තරුණයන්ට පහනක් දල්වන ලෙස කාන්තාව පවසා ඇත. නමුත් ඒ සදහා පොල්තෙල් නොමැති බව මෙම තරුණයන් කාන්තාවට පැහැදිලි කර ඇත. එම කාන්තාව පහනක් දැල්වීමට පොල්තෙල් අවශ්‍ය නොමැති බවත් ඉදිරිපිට ඇති මුහුදෙන් මුහුදු වතුර ගෙනවිත් පහනක් දල්වන ලෙස පවසා ඇත. ඒ අනුව ක්‍රියා කළ තරුණයන් පිරිස ඇය කියු පරිදි මුහුදු ජලය ගෙනවිත් පහනක් දල්වා තිබේ.
අනතුරුව මෙම තරුණයන් ඇමතූ එම කාන්තාව තමාට එසේ පුද සත්කාර කරන්නේ නම් ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට තමා ආශිර්වාද කරන බව පවසා අතුරුදහන්ව ඇත. එම කාන්තාව වාඩිවූ කොහොඹ නගුල එම ස්ථානයේම පැලවී ගසක් බවට වැඩී තිබේ.
ඒ පැමිණ ඇත්තේ කන්නගි අම්මා බව විශ්වාස කරන එම පළාතේ ජනතාව එම ස්ථානයේ කෝවිලක් කරවා එදා පටන් අද දක්වාම වසරක් පාසා කිරි උතුරවිමින් කිරිබත්(පොංගල් බත්) උයමින්, මුහුදු වතුරෙන් පහන් පත්තු කරමින් එම සිද්ධිය සමරමින් කන්නගි දේව මාතාවට පූජෝපහාර දක්වයි.
පත්තිනි අම්මාගේ එක් පෙනී සිටීමක් ලෙස සලකන කන්නගි අම්මා දේව මාතවට පුද පූජා පැවැත්වීම සිදුකෙරේ.
කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දිනයේදී භාරහාර ඔප්පු කිරීමට පැමිණෙන මෙරට ජනතාව හා විදේශිකයන් ඇතුළු ලක්ෂ පහකට අධික බැතිමතුන්ගෙන් වට්‌ටාපලෙයි කෝවිල් භූමිය එකම මිනිස් හිස් ගොඩක් බවට පත් වෙයි.
මුලතිව් වට්‌ටාපලෙයි කෝවිලේ පවතින ජාතින් අතර සාමය සමගිය සහජීවනය රටේ ඉදිරිගමනට යෝධ ශක්තියක් වනු නොඅනුමානය.
ගමන් මග –