අමාත්‍යවරයා මෙහිදි සිය අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නොමඟ යවන, එකිනෙකාට මඩ අවලාද නගන කිසිදු හරයක් නොමැති දේ පිළිබඳව සාකච්ඡා කෙරෙන සිද්ධීන් රැසක් පසුගිය කාල සීමාව තුළ ඇතිවූ බවයි.
නමුත් අයවැය විවාදය තුළ රට මුහුණ පා ඇති අර්බුද සම්බන්ධයෙන් හෝ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට රටක් වශයෙන් මුහුණ පා ඇති උග්‍ර අර්බුද තුනක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙසේ අදහස් දක්වන ලදී.
“රටක් වශයෙන් මුහුණ පා ඇති උග්‍ර අර්බුද තුනකට අපි මුහුණ දෙමින් සිටිනවා. ඉන් පළමු කාරණාව තමයි 2015 සිට යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම ආර්ථිකය කඩා වට්ටමින් මුළුමණින්ම විනාස කරන ලද ආර්ථිකයක් නැවත නඟා සිටුවීමේ අභියෝගයට මුහුණ දීම.
රටේ මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් සමස්ත රටේම මූල්‍ය පරිපාලනය උග්‍ර මූල්‍ය අර්බුදයක් කරා ගමන් කොට තිබීම මෙන්ම පසුගිය යහපාලන රජය විසින් අදූරදර්ශී විදේශ විනිමය කළමණාකරණයක් සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන උග්‍ර විදේශ විනිමය අර්බුදයත් පෙන්වා දිය හැකී.
මෙහි යතාර්ථය වටහා ගෙන මෙම තත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා අවශ්‍ය විසඳුම් පිළිබඳව පාර්ලිමේන්තුවේ තුළ සංවාදයක් ඇති නොවීම නිසා, විවිධ පුද්ගලයින් විවිධ ස්ථාන වල මෙම ප්‍රකාශ විවේචනය කරමින් රටේ පැවැත්මට හානිකර විවිධ දේ කරනවා.
මුදල් අමාත්‍යතුමා රාජ්‍ය සේවය රටට බරක් යැයි ප්‍රකාශ කිරීම පිළිබඳව අවධානය යොමු කළහොත් එය රටේ අයවැයට ඇති බරක් ඒ කියන්නෙ මහජනතාව වෙත පැනවිය යුතු බදු බර වැඩි කිරීම විනා මේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට හෝ වැටුප් ගෙවීමට වෙනත් ක්‍රමයක් නැහැ.
පසුගිය යහපාලන රජය විසින් අසීමාන්තික බදු ප්‍රමාණයක් පනවා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමක් කළා. වැටුප පසුපස බඩු මිළත්, බඩු මිළ පසුපස වැටුපත් වැඩි වීමක් සිදු වෙනවා. රාජ්‍ය ණය, වර්තන වියදම්, වැටුප් ගෙවීමේ ක්‍රම ගැන වඩාත් ඵලදායී සංවාදයක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ ඇති විය යුතුයි. නමුත් මේ වන විටත් එවැනි සංවාදයක් ඇති වී නැහැ.
විවිධ බාහිර පාර්ශ්ව විසින් මෙන්ම නිලධාරීන් විසින් ඔවුන්ගේ කතිපයාධිකාරය භාවිතා කරමින් විවිධ දේශපාලකයන්ට විවිධ අදහස් ඉදිරිපත් කරමින් රජයේ යහපත් වෑයම කඩාකප්පල් කරමින් පවතින බවක් පේනවා. එය එසේ විය යුතු නැහැ. උදාහරණයක් වශයෙන් ගතහොත් මෙරට අපනයන විෂය භාර වී තිබෙන්නේ මටයි.
නමුත් මෙරට අපනයන සංවර්ධනය සඳහා වසර ගණනාවක් තුළ විවිධ ව්‍යෘපෘති දියත් කිරීමේ ක්‍රමවේද ඇති කිරීමට මෙම නිලධෘරීන් ඉඩ දී නැහැ. වසර 28කට පසුව මා විසින් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
නමුත් නැවත රැස්වීම සඳහා නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. මෙරට අපනයන සංවර්ධනය හරියට කළා නම් ඩොලර් හිඟයක් කිසිසේත් ඇතිවන්නේ නැහැ. ඩොලර් සම්බන්ධ ගැටළුව විසඳිය හැකි මෙම රැස්වීම කැඳවන්නට ඉඩ නොදී කටයුතු කරන්නේ සෑම නායකයකුම වට කරගනු ලබන සමහර නිලධාරීන් විසින්.
අපනයන සංවර්ධනය සඳහා සෙස් බදු ආදායම ප්‍රධාන රේගු අයකැමි විසින් අපනයන සංවර්ධන අරමුදලට මාස්පතා බැර කළ යුතුයි. නමුත් 2021 වසර තුළ ඩොලර් බිලියන 31ක් වන මේ සෙස් බද්දෙන් අපනයන සංවර්ධනය සඳහා මිලියන 300ක් පමණක් වෙන් කොට තිබෙනවා.
ආනයන වියදමට සාපේක්ෂව නිර්යාත ආදායම වැඩි කරගැනීමට නම් අපනයනකරුවන් හා අපනයන භාණ්ඩ පිළිබඳව නිසි සංවර්ධන ව්‍යාපෘති දියත් කළ යුතුයි. මේ නිසා මම ගිහින් ඉල්ලුවා මේ අපනයන සංවර්ධනය සඳහා මේ මුදල දෙන මෙන් ඉල්ලා සිටියත් මේ වසරේදී අයවැය ලේඛනයෙන් මිලියන 200ක් වෙන් කොට තිබෙනවා.
නිලධාරීන් විසින් විවිධ කරුණු මතු කරමින් මෙවැනි කටයුතු සිදු කරන්නේ නම් තවදුරටත් මෙය අසත්‍ය මත පදනම් වූ බව පෙනී යනවා.”
“යහපාලන ආණ්ඩුවට මෙම නිලධාරීන් කිව්වේ මොකක්ද? මහින්ද රාජපක්ෂ රජයේ ණය ගෙවාගන්නට බැරි වීම තුළ රට හදන්න බෑ. නමුත් යහපාලන රජය කාලයේ ලෝක බොරතෙල් මිළ අඩු වීම පවා යහපාලන රජයෙන් සැඟවීමට මෙවැනි නිලධාරීන් කටයුතු කළා. පැහැදිලිවම පෙනී යන්නේ මේ රටේ සමස්ත දේශපාලන නායකත්වය සහ පාර්ලිමේන්තුව හැසිරවිමට මුදල් අමාත්‍යාංශයෙත් මහබැංකුවෙත් ඉන්න පිරිසක් කටයුතු කරමින් පවතින බවයි.
එමෙන්ම තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීමට වසර ගණනාවක් ගත කිරීමට වියදම් ඇස්තමේන්තුවක් සකසා තිබුණා. නමුත් මේ ක්‍රියාවලිය කිසිදු ප්‍රගතියක් නොපෙන්වන බව පෙනී යන නිසා මා විසින් සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති හා මුදල් ඇමති නොවුණා නම් අද වන විට මේ රටේ තාක්ෂණවේදය විෂය ඇති වන්නේ නැහැ.
මේ විදියට රටක් ගොඩනඟන්නේ කොහොමද? පසුගිය කාලයේ ලංකා සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ අලාභ ගැන හිටපු අමාත්‍යවරයා දන්නවාද දන්නේ නැහැ.
මේ වැනි මහා පරිමාණ අලාභයක් වන තුරුම අධ්යක්ෂ මණ්ඩලය බලාගෙන හිටියද? මුදල් අමාත්‍යාංශයේ පවා නියෝජිතයෙකු මෙහි සිටියදී මෙවැනි අලාභ වුණා නම් තවදුරටත් ඒ නිලධාරීන් මේ තනතුරු වල ඉන්න එක තේරුමක් තිබෙනවාද? හොරුන් අල්ලන්නට එන කෙනා හොරා බවට පත් කර මේ නිලධාරීන් කටයුතු කරනවා.
වැරැද්දක් කරපු මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම්, පොලිස්පතිටත් දෙවැනි වතාවටත් යොමු කළ පැමිණිලි විභාග නොවන්නේ නම්, මේ උත්තරීතර සභාවේ යහපත් තීන්දු තීරණ ගැන පක්ෂ විපක්ෂ බෙදී හැප්පෙන සංස්කෘතිය වෙනස් නොකරන්නේ නම් මේ රට ගොඩනගන්නේ කොහොමද කියන ප්රශ්නය ඇති වෙනවා.
මේ නිසා ඇත්ත මත පදනම් වෙලා මේ උත්තරීතර සභාව තුළදි කටයුතු කර මේ රට ගොඩනැඟීමට දායක විය යුතුයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා.”