කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මීපැණිවල ගුණාත්මක බව පහසුවෙන් තීරණය කරගැනීමට හැකි මෙවලම් කට්ටලය නිර්මාණය කර තිබේ. මෙම මෙවලම හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය දා එම ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මී පැණිවල ගුණාත්මක බව, ගබඩා කිරීම, උණුකිරීම, සීනි, බඹර පැණි වැනි ද්‍රව්‍ය මුසු කිරීම සහ අඩංගු තෙතමනය ප්‍රමාණය යන සාධක මත රදා පවතී. මෙවැනි සාධක මත තීරණය වන මී පැණි වල ගුණාත්මකභාවය SLS 464 – 2016 ප්‍රමිති නියමයට අනුකූල විය යුතු අතර මෙම ප්‍රමිති නිරීක්ෂණය සඳහා අදාල පරීක්ෂණ කටයුතු නියමිත රසායනාගාරයක් තුළ දීම සිදු කළ යුතුය.
එම ප්‍රායෝගික දුෂ්කරතාව මගහරවා ගැනීම සඳහා සරල ලෙස ක්ෂේත්රයේදී ම මී පැණිවල ගුණාත්මක බව නිවැරැදිව තීරණය කිරීමට මෙම මෙවලම් කට්ටලය භාවිතයෙන් හැකියාව ලැබේ. ඒ සඳහා ගතවන කාලය ඉතා අවම වන අතර, එක් පරීක්ෂණ අවස්ථාවක් සදහා වැයවන පිරිවැය ද රුපියල් 100.00 වැනි අවම මුදලකට සීමා වේ.
මී පැණි සඳහා ලෝක වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක් පවතින අතර විශාල නිෂ්පාදන සංඛ්‍යාවකට එය යොදාගනු ලබයි. ඖෂධ නිෂ්පාදන, ආහාර නිෂ්පාදන, රූපලාවණ්‍ය නිෂ්පාදන, ශාකසාර නිෂ්පාදන ආදිය සඳහා බහුලව එය යොදා ගැනේ. එහි ඇති ඖෂධීය වටිනාකම ඉහළ අගය සහ සෞඛ්‍යමය වශයෙන් ඇති වැදගත්කම ඒ සඳහා හේතු වේ. මේ නිසා නියමිත ප්‍රමිතියෙන් යුතු මී පැණි හඳුනාගැනීම ඉතා වැදගත් වේ. අප රටේ මී පැණි හා සම්බන්ධව විවිධ අංශ වලින් කටයුතු කරනු ලබන ආයුර්වේද නිෂ්පාදකයින්, ආයුර්වේද වෛද්‍යවරුන්, බෙහෙත් ශාලා හිමියන්, ආහාර නිෂ්පාදකයන්, මී පැණි රැස්කරන්නන් හට මී පැණි වල ගුණාත්මක බව පිළිබඳව තීරණය කිරීම අතිශයින් වැදගත් වේ. එබැවින් මෙම උපකරණය එම ක්ෂේත්රවල නියැලි සිටින පුද්ගලයන්ට ඉතා ප්‍රයෝජනවත් වන බව කාර්මික තාක්ෂණ ආයතනය පවසයි.
අපේ නිෂ්පාදකයන්ට මී පැණි වල ප්‍රමිතිය පිළිබඳව වැඩි අවබෝධයක් නොමැති අතර ප්‍රමිතිය තීරණය කිරීම විද්‍යාත්මක නොවන පාරම්පරික ගතානුගතික ක්‍රමවේද ඔස්සේ සිදු කරයි. එහි නිවැරදි බව පිළිබඳ විද්‍යාත්මකව තහවුරු කිරීම දුෂ්කර බැවින් එම ගැටළුවට පිළියමක් ලෙස මේ පිළිබඳව පර්යේෂණ කරමින් මෙවැනි උපකරණයක් නිර්මාණය තළ බව ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා පැවසීය.
අප රටේ වෙළෙඳ පොළ තුළ මෙන්ම ලෝක වෙළඳ පොළ තුළද මී පැණිවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබේ. මී පැණි මෙට්ට්‍රික් ටොන් 20,000 ක පමණ ඉල්ලුමක් අප රටේ වෙළෙඳපොළ තුළ පැවතියද අප නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික්ටොන් 8000 වැනි ප්රමාණයකි. මේ නිසා ඉල්ලුමට සරිලන සැපයුම නොමැති වන විට මෙරට දීම ප්‍රමිතිය බාල කිරීම් වැනි ක්‍රියා තුළින් හෝ ඉහළ සැපයුමක් ලබාදීමට නිෂ්පාදකයින් උත්සුක වේ.
මී පැණි ප්‍රමාණාත්මකව වැඩිපුර නිෂ්පාදනය කිරීම සඳහා එහි ගුණාත්මක බව පහළ දමමින් මී පැණි වලට බමර පැණි, උක් පැණි, සීනි දියර ආදිය මිශ්‍ර කිරීම බොහෝවිට දක්නට ලැබේ. මෙම මෙවලම භාවිතා කිරීම තුළින් මී පැණිවල ගුණාත්මක තත්ත්වය පහසුවෙන් නිවැරදිම තීරණය කිරීමට හැකියාව ලැබේ. ඒ තුළින් ඖෂධීය වටිනාකමකින් යුතු නිසි ප්‍රමිතිය සහිත මී පැණි ලබා ගැනීමට පරිභෝගිකයාට හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර, ශ්‍රී ලංකා රේගුව, පාරිභෝගික සේවා අධිකාරිය, කෘෂිසර්ම දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීන්, ආයුර්වේද නිෂ්පාදකයින්, ආයුර්වේද වෛද්‍යවරුන්, බෙහෙත් ශාලා හිමියන්, මී පැණි රැස්කරන්නන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.