Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෑම පෙරපාසල් ගුරුතුමියකටම, සහාය පාලිකාවකටම තම රජය යටතේ වැටුප් ගෙවමින්, දූ දරුවන්ට දිවා ආහාරයද ලබා දෙමින් මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය සම්පූර්ණ නොමිලේ අධ්‍යාපනයක් කරන්නට, නිදහස්, නිවහල් අධ්‍යාපනයක් බවට පත් කරන්නට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  ගල්ගමුවේ පැවැති ජන රැලියකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අද දිනයේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ ඔබතුමන්ලා සියලුදෙනාම 16 වැනිදා හංසයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද මේ පොළ භූමියට ඒකරාශී වෙලා අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට කටයුතු කිරීම පිළිබඳ මගේ ස්තූතිය හා ප්‍රණාමය පුදකර සිටිනවා.

විශේෂයෙන්ම මේ බලප්‍රදේශයට බලපාන ගැටලු කිහිපයක් පිළිබඳව මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදේශයේ බහුලව තිබෙන වන අලි – මිනිස් ගැටුමට ඉක්මන් විසඳුමක් ලබාදෙන්නට අපි කටයුතු කරනවා. ගල්ගමුව පමණක් නෙවෙයි මුළුමහත් මාතෘභූමියේම ඒ ගැටුමට මුහුණදෙන මිනිස් සම්පත හා වන සම්පත රැකගැනීම උදෙසා අපි ඒ කර්තව්‍ය ඉෂ්ට කරනවා.

ඒ වගේම මේ වන්නි හත්පත්තුවට, ගල්ගමුවට, යාපහුවට, නිකවැරටියට අවශ්‍ය වාරි ජලය හා අවශ්‍ය පානීය ජලය සඳහා මොරගහකන්දේ ඊළඟ කොටස අපි රැගෙන එන්නේ මේ වන්නි හත්පත්තුවටයි කියලා මම ඔබතුමන්ලාට වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි.




“අපි මේ රටේ කෘෂිකාර්මික විප්ලවයක් කරනවා. ඒ කෘෂිකාර්මික විප්ලවය තුළ ශ්‍රම සූක්ෂ්ම ශිල්පීය ක්‍රමවේද උපයෝගී කරගෙන නව යාන්ත්‍රික, නව තාක්ෂණ ශිල්පය උපයෝගී කරගෙන අපි කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. අපි ගොවිතැන් ක්ෂේත්‍රයේ ඓතිහාසික විප්ලවයක් කරන්නට බලාපොරොත්තු වෙනවා.

වී ගොවියාට පමණක් නෙවෙයි, එළවළු, පලතුරු ගොවියට, හේන් ගොවියට, තේ, පොල්, රබර් ගොවියට, කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි වැනි සුළු අපනයන භෝග ගොවියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමුවැනි වතාවට පොහොර ටික නොමිලයේ ලබා දෙනවා කියලා මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි. විශේෂයෙන්ම තමුන්නාන්සේලා දැනගන්න ඕනේ මගේ ප්‍රතිවාදියා පොහොර මිලවත් නොදන්න මනුස්සයෙක්. එයා තුන්සිය පනහේ පොහොරක් ගැන කතා කරනවා.

අපි ත්‍රස්තවාදීන්, කුඩුකාරයන්, කප්පම් දේශපාලනය, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන් විනාශ කරනවා. මම වගකීමෙන් තමුන්නාන්සේලාට කියනවා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මම මොනම ත්‍රස්තවාදියෙක්වත්, අච්චු කරපු ත්‍රස්තවාදීන්, අච්චු කරපු කුඩු මුදලාලිලා, අච්චු කරපු මිනීමරුවෝ, කුඩුකාරයන්, කප්පම් දේශපාලනය, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන් මගේ කාලය තුළ නිදහස් කරන්නේ නැහැ. විනයක් ඇති මාතෘභූමියක් මේ රට තුළ ශක්තිමත් සංවර්ධනයක් නිර්මාණය කර, තේජස්වන්ත මාතෘභූමියක් බිහි කරන්නට අපි අත්වැල් බැඳගමු.

Scroll to Top