Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සසුනඹර බැබළවු – මිණි පහන නිවී යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ත්‍රිපිටක වාශීර්වරාචාර්ය , සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද , කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, මහෝපාධ්‍යාය, කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් අපවත් වී වදාළහ.

67 වසරක ( 1954- 2021) පැවිදි දිවිය තුළ ධර්ම ධර විනය ධර යතිවරයෙකු ලෙසින් බුදුදහමේ උන්නතිය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ උන්වහන්සේ අපවත් වන විට 84 වන වියේ පසුවූහ.

සිය මව් බිමට අසීමිතව ආදරය කළ අපක්ෂපාතී නිර්භීත හිමි නමක් වූ උන්වහන්සේ සෑම මොහොතකම රට වෙනුවෙන් සිය හඬ අවදිකළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම මොහොතකම රට දැය සමයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ පක්ෂයක් වූයෙන් වැලමිටියාවේ හිමියන්ගේ අවවාද, අනුශාසනා නිදහස් පක්ෂයට නිරන්තරයෙන්ම හිමිවිය. එම නිසාම උන්වහන්සේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාගේත් ගෞරවයට ප්‍රාත්‍ර වූහ.

මෙරට සිංහල – බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමී ආයතන ද්විත්වය වුයේ විදෝද්‍ය හා විද්‍යාලංකාර පිරිවෙන්ය. නිදහසින් පසු මෙම පිරිවෙන් විදෝද්‍ය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල යනුවෙන් නම් කර සිංහල බසින් අධ්‍යාපනය ලබා දෙන විශ්වවිද්‍යාල බවට පත් කරනු ලැබීය.

(පසුකලෙක මෙම විශ්වවිද්‍යාල ශ්‍රී ජයවර්ධනපුර හා කැළණිය විශ්වවිද්‍යාල ලෙස නම් කරනු ලැබීය) ඒ මෙරට සිංහල බෞද්ධ අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය උසස් අධ්‍යාපන ආයතන නොතිබීමේ අඩුව පුරවාලමිනි. මේ සඳහා ඇප කැපවී ක්‍රියා කළ පිරිස අතර එවක අගමැති වූ දිවංගත එස්. ඩබ්.ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමන් පෙරමුනේ පසුවිය. .

එතුමන් මෙහෙය වූ සඟ, වෙද, ගුරු, ගොවි , කම්කරු යන පංච මහා බලවේගයන් හි ” සඟ” බලවේගය නියෝජනය කරන ලද්දේ පෑලියගොඩ පරිවෙනාධිපති වූ යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන් විසිනි. වැලමිටියාවේ කුසලධම්ම හිමියන් සසුනට පිවිසෙන්නේ ද උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක ලෙසිනි.

සෑම විටම මෙරට උන්නතිය පිළිබඳව සිතූ වැලමිටියාවේ කුසලධම්ම හිමියන් මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකළ දේශපාලන නායකයන් ඇගයීමටත් ඔවුන්ට අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දීමටත් ක්‍රියාකළහ.

එනිසාම දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ගිය ප්‍රතිපත්ති උන්වහන්සේ විසින් නිරන්තරයෙන්ම ඇගයීමට ලක් කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහිව ලොව ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වූ විට එතුමිය වෙනුවෙන් හඬ නැගූ පිරිස අතර වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පෙරමුණ ගෙන ක්‍රියා කළේ උන්වහසේ එතුමියටත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් , පක්ෂයේ ප්‍රතිපත්ති කෙරෙහිත් අසීමිත පැහැදීමකින් පසු වූ හෙයිනි.

කිසිවිටකත් මැතිවරණ වේදිකාවන්ට ගොඩ නොවූ අපක්ෂපාතී හිමි නමක් වූ උන්වහන්සේ ප්‍රතිපත්තියක් ලෙසින් දේශපාලඥයන් වර්ණනා නොකිරීමට වගබලා ගත් නමුත් රට වෙනුවෙන් අවශ්‍ය මොහොතේ දී සිය වගකීම ඉටු කිරීමට දෙවරක් නොසිතුවේය . ‍

වත්මන් සඟ පරපුරේ මිණි පහනක් ලෙසින් බැබළුණු , වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන්ගේ අපවත් වීම අප රටටත් , ජනතාවටත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පිරවිය නොහැකි අඩුවක් බව සිහිපත් කළ යුතුමය. උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා අනුරාධපුර ජනතාවගේ බලවත් ශෝකය.

වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන්ට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමු !.

Scroll to Top