1898 දී ආරම්භ කළ දැනට පවතින පැරණිම සහ විශාලතම බෞද්ධ සංගමය වන කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එහි පළමු අදියර යටතේ බස්නාහිර සහ ඌව පළාත්වල වැඩ වාසය කරන පිරිවෙන් 237 ක අධ්‍යාපනය ලබන 700 ක් පමණ තරුණ භික්ෂූන්වහන්සේලාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙන අතර එය මාර්ගගත තාක්ෂණය භාවිතා කරමින් නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව කොළඹ තරුණ බෞද්ධ සංගමය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්, මහේන්ද්‍ර ජයසේකර මහතා සඳහන් කළේ භික්ෂූන්වහන්සේලාගේ ඉංග්‍රීසි භාෂා දැනුම අසතුටුදායක මට්ටමක පවතින බැවින් එය ඉහළ දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට කොළඹ තරුණ බෞද්ධ සංගමය පියවර ගෙන ඇති බවයි.
ඒ මහතා තවදුරටත් සඳහන් කළේ ඉංග්‍රීසි භාෂා චතුරත්වය මගින් භික්ෂූන්වහන්සේලාට බෞද්ධ ධර්මයේ ඉහළ අවබෝධයට අමතරව ගෝලීය දේශපාලනය සහ ගෝලීය ආර්ථික ප්රවණතා පිළිබඳවත් ඉහළ අවබෝධයක් ලබාගැනීමට අවකාශ ලැබීම තුළින් උන්වහන්සේලාගේ කාලීන ප්‍රශ්න පිළිබඳව අදහස් දැක්වීමද අදට වඩා සාරවත් වනු ඇති බවයි.
ඊට අමතරව, ස්වාමීන්වහන්සේලාගේ චර්යාමය වෙනසක් පවා මෙම වැඩසටහන මගින් ඇතිකර ගැනීමට තරුණ බෞද්ධ සංගමය අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ගම්පහ අධ්‍යාපන කළාප භාර සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගලහ පඤ්ඤසාර ස්වාමීන් වහන්සේ මෙසේ සඳහන් කළේය.
“අපේ භික්ෂූන්වහන්සේලා චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමේ අඩුපාඩුකම් තිබෙනවා. මේ වනවිට ඇමරිකාවේ පවා බොහෝ බෞද්ධයින් ඉන්නවා. ඔවුන්ට නිවැරදිව ථෙරවාදී බුදුදහම සන්නිවේදනය කළ යුතුයි. ඒ නිසා, මෙම වැඩසටහන ආරම්භ කිරීම ගැන අපි කොළඹ තරුණ බෞද්ධ සංගමයට ප්‍රශංසා කරනවා.“
මෙම වැඩසටහනේ දෙවැනි අදියර 2022 වසර මැදදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එහිදී දිවයින පුරා විසිරී තිබෙන සියළු පිරිවෙන්වල වාසය කරන භික්ෂූන් වහන්සේලා 4000 කට වැඩි ප්‍රමාණයකට ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වේ.