බුලත් සෞභාග්‍යයේ සංකේතයයි. ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියේ බුලත් කොළයට හිමිව ඇත්තේ අති විශාල ප්රමුඛස්ථානයකි. පැරණි ජන කතාවල සඳහන් පරිදි බුලතේ උපත මෙසේ සඳහන්ව ඇත.
බුලතේ උපත පිළිබඳ සොයා බැලීමේ දී ජනප්රවාදයේ පැවසෙන්නේ බුලත නාග ලෝකයෙන් මිනිස් ලෝකයට ගෙනා බවය. ගම්බද බලිතොවිල්වලදී කියැවෙන දලුමුර උපතේ මෙසේ කියැවෙයි.
නාග වලිගෙ නම මුලටම ගන්නේ
නාග පෙනෙහි කොළ පෙති ගන්නේ
නාග කඳෙහි වැල්පොට හට ගන්නේ
නාග වල්ලි නම එදයි පැවැත්තේ
මෙසේ නාග ලොවේ නාග වල්ලී නමින් බිහි වූ බුලත චූලෝදර මහෝදර යුද්ධය පැවති සමයේ නාග ලොවින් මොලොවට පැමිණි නාගයන් අතර සිටි නාග කන්‍යාවියක් බුලත මනුෂ්‍ය ලෝකයට ගෙන ආ බව කියැවේ. නාග කන්‍යාවිය බුලත දෙකට නමා කටේ තබාගෙන ආ නිසා ඇගේ විෂ බුලත් කොළයේ තැවරී ඇතැයි ජනප්රවාදයේ සඳහන් බැවින් අදත් බුලත්විට කන ඇතැම් අය බුලත් කොළයේ අගත්, මුලත් කඩා කෑමට ගනී.
බුලත් හුරුල්ලකට 20,20 බැගින් කොළ හතළිහක් ගනී. එසේ ගන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දන්තයන් 40 ක් තිබුණු නිසාය. පළමුව දත්වලට බුලත් යොමුවන නිසා බුදුන්ගේ ශ්‍රී මුඛය ආශ්‍රිතව සැලකූ බව පෙනේ. බුද්ධ පූජාවට බුලත් 40ක් ගනී. දේව පූජාවලට බුලත් 35ක්ද, ග්‍රහ පූජා වලදී බුලත් 12ක්ද නව ග්‍රහ පූජාවට බුලත් 9ක්ද ශාන්ති කර්ම සඳහා යක්ෂ භූත තටුවලට බුලත් 21, 18 බැගින් යොදාගනී.
බුදුන්ට බුලත් පුදන විට ‘නාගවල්ලී දලු පේතං’ යන ගාථාව බෞද්ධයෝ කියති. දෙවියන් උදෙසා කරන පූජාවලට, යන්ත්‍ර, මන්ත්‍ර යාග හෝම වලට නිමිති ශාස්ත්‍ර බැලීමට බුලත් යොදා ගනී. බුලත් සාමාන්‍ය, නාගවල්ලි කියා කොටස් දෙකකි. මන්ත්‍ර විද්‍යාවේ සඳහන් පරිදි දේව බුලත්, ස්ත්‍රී බුලත්, පුරුෂ බුලත්, යක්ෂ බුලත් යනුවෙන් වර්ග හතරකට බෙදා ඇත.
පලුදු නැති ලක්ෂණ පියකරු බුලත් දේව බුලත් වශයෙන්ද, බුලතේ අග දකුණට නැමී ඇති බුලත් පුරුෂ හා වමට නැමී ඇති බුලත් ස්ත්‍රී බුලත් කියාද විකෘති බුලත් යක්ෂ බුලත් කියාද වර්ග වේ. දේව බුලත් දේව පූජාවලටද ස්ත්‍රී බුලත් ස්ත්‍රීන් වශී කිරීමටද පුරුෂ බුලත් පුරුෂයින් වශී කිරීමටද ප්‍රභූ වශීයට, රජුන් වශීයටද යක්ෂ බුලත් අණවින කොඩිවින ආදි හූනියන් කැපීමේ ශාන්ති කර්මයන් සඳහා ද යොදාගනී.
සිංහල අලුත් අවුරුදු දා වැඩිහිටියන් බැහැ දැකීමට එන්නේ ද බුලත් හුරුල්ලක් අතැතිවය. පෙර සිදු වූ තරහ මරහ අමතක කරලන්නේ බුලත් හුරුල්ල දී සමාව ගැනීමෙනි. අද ලියුම් කවරයක දමා මුදල් ගනුදෙනු කළත් එදා මුදල් ගනුදෙනු කෙරුණේ බුලත් කොළයක ඔතමින්ය. මෙසේ බුලත ශුද්ධ වස්තුවක් ලෙස සැලකූ එදා ජනයා සෑම සාමාජීය මෙන්ම ආගමික උත්සවවලදී බුලතට මුල්තැන දුන්න.
ආගමික වතාවත් කිරීමේදී බුලත නැතුවම බැරි උතුම් වස්තුවකි. බණට, පිරිතට, දානයට ආරාධනය කිරීමට සංඝරත්නයට බුලත් අතක් පිළිගැන්විය යුතුය. ඒ වගේම වස් විසීමට සංඝරත්නයට ආරාධනා කරන්නේ ද බුලත් අතක් පිළිගන්වමිණි. මියගිය අයකුට අවසන් ගෞරව දැක්වීමට මළ ගෙදරකට ගොඩවන විට ගැමියා බුලත් හුරුල්ලක් ගෙන යෑමට අමතක නොකෙළේය. ඒ එදා තිබූ සංස්කෘතික ලක්ෂණයකි. මෙම සිරිත අද අභාවයට යමින් පවතී.