කරුණු කීපයක් අතින් ඉල් පෝය අපට වැදගත්කමක් උසුලයි. සිද්ධීන්ගෙන් බහුල ඉල් මාසය බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වේ. වෙසක් පොහෝ දින, පොසොන් පෝ දින, හා ඇසළ පොහෝ දින, බෞද්ධ ජනතාවට කෙතරම් වැදගත්කමක් දරයි ද, ඒ හා සමාන වැදගත්කමක් ඉල් පොහොය දිනට ද ලැබී ඇත.
බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඉල් පොහොය දිනය සම්බන්ධවීම නිසා එය බෞද්ධ ඉතිහාසයෙහි බලවත් තැනෙක්හි ලා සැලකිය හැකි ය. එම සිදුවීම් මෙසේය.
1. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
2. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය
3. අගසව් සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑම
4. කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම ආදියයි.
අසිරිමත් දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් ද තථාගතයන් වහන්සේ සහ සැරියුත් මහ රහතන් වහන්සේ අතර ඇති වූ ප්‍රශ්න විසර්ජන දේශනා ඇසීමෙන් ද මෛත්‍රී බෝසතාණන් වහන්සේ දහසක් පිරිස සමඟ පැවිදි වූ ආකාරය ප්‍රකට කරුණකි. මෙසේ පැවිදිව උපසපන්ව මැනැවින් ධර්මය හැදෑරූ මෛත්‍රී බෝධිසත්ව භික්‍ෂූන්වහන්සේ සෙසු භික්‍ෂූන්ට ධර්මය ඉගැන්වීමෙහි ද නිරත වූහ. පසුකාලීනව වස් කාලයක අවසන චීවර මාසයෙහි මුන්වහන්සේට ඉතා වටිනා වස්ත්‍ර දෙකක් ලැබිණි.
ඉන් එකක් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියෙහි වියනක් කොට බැඳ අනෙක් වස්ත්‍රය බුදුරජාණන් වහන්සේට පූජා කරන ලදී. මෙම උතුම් පුණ්‍යක්‍රියාව පිළිබඳ සර්වඥතාඤාණයෙන් බලා වදාරණ ලද භාග්‍යවතුන් වහන්සේ, මෛත්‍රී බෝධිසත්ව භික්‍ෂුව අමතා, ඔබ මේ මහා භද්‍රකල්පයෙහි මෛත්‍රිය නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ යැයි විවරණ දුන්නේ අදවන් ඉල්පුණු පොහෝ දිනක ය.
බරණැස ඉසිපතන මිගදායෙහි වස් වසා වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ වස් පවාරණයෙන් පසු ප්‍රථම රහත් හැටනම ඇමතූ සේක. “මහණෙනි, චාරිකාවෙහි හැසිරෙන්න. බොහෝ දෙනාට හිතසුව පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙව් මිනිසුන්ගේ හිත වැඩ පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. මුල මැද අග අර්ථ සහිත පරිපූර්ණ ධර්මය දේශනා කරන්නැ”යි අවවාද දී ධර්මදූත සේවාව සඳහා නිරත කරවන ලද්දේ අද වැනි ඉල්පුර පොහෝ දිනකදී බව අපේ ධර්ම සාහිත්‍ය මඟින් අනාවරණය කරනු ලැබී ඇත.
බුදුරජාණන් වහන්සේට සමකාලීනව විවිධ සමයවාදීන් භාරතීය සමාජයෙහි බහුල වශයෙන් විසූ බව සඳහන් වන අතර ඔවුහු විශාල පිරිස් සහිතව එම සමාජය තුළ ක්‍රියා කළහ. උරුවෙල් කාශ්‍යප, ගයාකාශ්‍යප, නදීකාශ්‍යප යන අය ද ජටිල නම් වූ ආගමික සම්ප්‍රදායෙහි ප්‍රමුඛයෝ වූහ. භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ ආරාමයට වැඩමවා මහා පෙළහර දක්වා ඔවුන් පහදවා සසුන්ගත කරන ලද ආකාරය ඉතා ප්‍රකට සිදුවීමකි. ජටිල දමනය නම් වූ මේ මහා පෙළහරින් පසු ඔවුන්ට ධර්ම දේශනා කොට රහත්භාවයට පත් කිරීම සිදුකොට ඇත්තේ ද අද වැනි ඉල්පුර පොහෝ දිනයකදී ය.
දම්සෙනෙවි අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පරිනිර්වාණය සඳහා අවසර ලබාගත් අතර තමන් වහන්සේගේ උපන් ගම වූ නාලක නම් ගමෙහි උපන් නිවෙසේදී පිරිනිවන් පාන බව ප්‍රකාශ කළහ. මිසදිටු බවින් නොමිදුණු තම මෑණියන්ට අනුග්‍රහ පිණිස වැඩම වූ සැරියුත් මහරහතන් වහන්සේ බොහෝ දෙනාට අනුග්‍රහ පිණිස දම් දෙසමින් සත්වැනි දිනයෙහි තම උපන් නිවෙසට වැඩම කළහ. එහිදී තම මෑණියන්ට ධර්ම දේශනා කොට ශාසනයෙහි පහදවා සෝවාන් ඵලයට පත් කිරීම සිදුකොට වදාළහ. මෙම අසිරිමත් සිදුවීම සිදුවූයේ ද ඉල්පුර පසළොස්වක් දිනයක බව සඳහන් වේ. මෑණියන් වෙනුවෙන් කළ යුතු වූ උතුම් යුතුකම ඉටුකිරීම පිළිබඳ සතුටට පත් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමද සිදුවූයේ මෙදිනම ය.
එමෙන්ම වස් පවාරණය පිළිබඳව ද අද දිනය ඉතා වැදගත් දිනයක් බවට පත් වේ. වස් විසීමේ දී පෙරවස් විසීම, පසුවස් විසීම යයි ආකාර දෙකක් පිළිබඳව සඳහන්ව ඇත. ඇසළ පුණු පොහෝ දා පොහොය කොට අවපෑලවියදා වස් විසීම පෙර වස් විසීමයි. නිකිණිපුර පොහෝ දා පොහොය කොට නිකිණි අවපෑලවිය දිනයෙහි වස් විසීම පසුවස් විසීමයි. පසුවස් විසීම සිදුවන්නේ පෙරවස් විසීම සඳහා කිසියම් බාධාවක් ඇති වූ අවස්ථාවක පමණක් වන අතර එබඳු භික්‍ෂූවකට කඨිනයක් ලබාගැනීමේ හැකියාවක් ඇති නොවේ. එසේ පසුවස් එළැඹී භික්‍ෂූන් විසින් පසුවස් පවාරණය සිදුකරනු ලබන දිනය වන්නේ ද ඉල්පුර පොහෝ දිනය යි.
වප්පුර පසළොස්වක් දිනයෙන් ඇරැඹුණ කඨිනස්තරණ කාලය හෙවත් චීවර මාසය නම් වූ කාල වකවානුව යනු වස්විසීම සිදු කරන ලද සියලු ස්ථානයන් හි කඨින පූජාමය මහා පින්කම් සිදු කරනු ලබන කාලයයි. අසිරිමත් වූ කඨින පූජා පින්කම සියලු තැන්හි සැමදා සිදුකළ හැකි පින්කමක් නොවන අතර එය සිදුකළ හැකි අවසන් දිනය වන්නේ ද අද දිනයයි. එනම් ඉල්පුර පොහෝ දිනයෙන් චීවරමාසයෙහි නිමාවද සිදු කෙරෙන බව මෙම තොරතුරුවලින් අනාවරණය කෙරේ.
වස්සාන සෘතුවෙහි අවසන් පුර පොහෝ දිනය වූ අද දිනයෙහි මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම රහත් සැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමන් ඇරැඹීම, තුන්බෑ ජටිල දමනය, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, කඨිනයක් ඇතිරීමේ හැකියාව ඇති අවසන් දිනය වීම සහ සැරියුත් තෙරුන්ගේ පිරිනිවීම යනාදී ශාසනයෙහි සිහිකටයුතු සිද්ධීන් රැසක් පිළිබඳව ඔබේ අවධානය යොමු කළෙමු. මේ පිළිබඳ නැවත සිහිපත් කරමින් සැදැහැයෙන් සිත් සතන් සනසා ගැනීමට උත්සාහ කළ යුතුව ඇත.
ධර්මය විසින් සත්වයා ආරක්‍ෂා කිරීම, රැකවරණය දීම සිදු කෙරෙන නිසා ධර්මය අසා දරා දැන එහි හැසිරෙන ලෙසට හැමගේ අවධානය යොමු කොට ඇත. ධර්මය හැර මවක හෝ පියෙකු නැත. ධර්මයෙහි මූලික වශයෙන් ගුණාංග හතක් පවතින බව බොහෝ දෙනා හොඳින්ම දන්නා කරුණකි. ඒවා ස්වක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ යනුවෙන් දක්වා තිබේ. අද දිනයෙහි ඒ අතරින් ස්වක්ඛාත, සන්දිට්ඨික, අකාලික යන ත්‍රිවිධ වූ ගුණයන් පිළිබඳ සංක්‍ෂිප්තව විමසා බැලීම සඳහා අවස්ථාව උදාකර ගන්නෙමු.
‘ස්වක්ඛාතො භගවතා ධම්මො’ යන දහම්ගුණ ඇතුළත් පාලි පාඨයේ අදහස වන්නේ තථාගතයන් වහන්සේ විසින් ධර්මය මුල, මැද, අග යන තුන් තැනදීම යහපත් වන පරිදි මනා කොට දේශනා කරනු ලැබ ඇත්තේය යන්නයි. යම් ධර්මයක් සත්‍ය ධර්මයක් වීම සඳහා, ඇතැයි කී දෙය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය. නැතැයි කී දෙයක් වේ නම් එය නො විය යුතු ය. අසම්පූර්ණ නොවේ නම් අඩු තැන්ද නොවේ නම් මුල, මැද, අග යහපත් නම් එම ධර්මය සත්‍ය ධර්මයක් බවත් දැක්වේ. එබඳු සියලු ආකාරයෙන්ම වූ සොඳුරු බව ‘ස්වක්ඛාත’ ගුණය වශයෙන් පෙන්වා දී ඇත.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද මෙම ධර්මය අනුමානයෙන් යුතුව, උපකල්පනයෙන් යුතුව දේශනා කරන ලද්දක් නොවේ.
සියල්ල දත් නුවණින් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැකීමෙන් යුතුව දේශනා කරන ලද්දක් වේ. එසේම පින් කළ අයගේ වාසභූමි ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැක දිව්‍ය බ්‍රහ්මලෝක යනාදී වශයෙනුත්, පවු කළවුන්ගේ වාසභූමි ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැක සතර අපාය පිළිබඳවත් දේශනා කරන ලදී.
අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සසර දුකින් අතමිදීම සඳහා නිර්වාණ ධර්මය ප්‍රකාශ කොට ඇත. මෙසේ ධර්මයෙහි ඇති ස්වාක්ඛාත ගුණය තථාගතයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් පෙන්නුම් කොට වදාරනු ලැබ ඇති අයුරු මැනැවින් දැකගත හැකිය.
‘සන්දිට්ඨික’ යන්නෙහි අදහස වන්නේ ධර්මය පිළිගන්නා වූ සද්පුරුෂ ජනතාවට වර්තමාන භවයේදීම ප්‍රත්‍යක්‍ෂවම දැකිය හැකි ගුණවලින් යුක්ත බවයි. එනම් ප්‍රකාශිත ධර්මයෙහි ගුණ කල් නොයවා ඇස් පනාපිටම සත්‍ය වශයෙන් දැකගත හැකිවීම බව සරලව සිතා ගත හැකි ය. තථාගත ධර්මයෙහි ඇතුළත් සිව්මඟ සිව්ඵල ධර්මයන් තම තමන් තුළම ඇතිකර ගනිමින් සත්‍ය වශයෙන් දැකගත හැකි වේ.
එමෙන්ම ඇසීමෙන් දැරීමෙන් සිහි කිරීමෙන්, රෝගයන්ගෙන් ද ශෝකයන්ගෙන්ද බියෙන් ද අත්මිදී නිරෝගි සම්පත් සහ දීර්ඝායුෂාදී සම්පත් ලබාගැනීමට හැකිවීම ද ධර්මයෙහි ‘සන්දිට්ඨික’ ගුණයක් ලෙස සඳහන් කළ හැකි ය. එදා විශාලා මහනුවර පැවැති රෝග, අමනුෂ්‍ය, දුර්භික්‍ෂ යන තුන් බිය රතන සූත්‍ර දේශනයෙන් දුරු වූ ආකාරය ප්‍රකට කරුණකි. අදත් එම සූත්‍ර දේශනයෙන් එම සියලු රෝග ආදී උවදුරු දුරු කර ගැනීම සිදුවේ. මෙත්ත සූත්‍ර දේශනයෙන්, පන්සියයක් භික්‍ෂූන්ට පැමිණි අමනුෂ්‍ය උපද්‍රව දුරුකරගත් ආකාරය ද ප්‍රකට සිදුවීමකි.
මේ අපේ ධර්මයෙහි ඇති ‘සන්දිට්ඨික ගුණයක්’ බව සිතා බැලිය යුතුව ඇත. චෛත්‍යයකට නැඟී භික්‍ෂුව ලිස්සා වැටෙන විට ධජග්ග පිරිත සිහිකිරීමෙන් එම අනතුරෙන් මිදුණු ආකාරය පිළිබඳවද තොරතුරු සඳහන් වේ. දූදරු මා පිය වියෝවෙන් හටගත් සොවින් උමතුව සිටි පටාචාරාදීන් ධර්මය අසා සැනසීමට පත්වීම මෙන්ම සුධර්ම නම් දෙව් පුතුට ඇතිව තිබූ මරණ බියෙන් අත්මිදීම සඳහා ද එකම ගාථා ධර්මයක් ඇසීම හේතු වූවා සේම ආයු ගෙවී යන, සක්දෙව් රජු බුදු හිමියන් වෙත පැමිණ දහම් ඇසීමෙන් නැවත දීර්ඝායුෂ ලැබීමේ සිද්ධිය ආදී බොහෝ සිදුවීම් ද ධර්මයෙහි ‘සන්දිට්ඨික’ ගුණය පිළිබඳ සාධක ලෙස දැක්විය හැකිව ඇත.
එමෙන්ම දන්දීමෙහි ආනිශංස පිළිබඳ සඳහන් කිරීමේදී ද ශීලයෙහි ආනිශංස ප්‍රකාශනයේ දී ද ධර්මයෙහි සන්දිට්ඨික ගුණයන් මනාව පෙන්නුම් කර ඇත. බොහෝ දෙනාට පි‍්‍රයවීම, සද්පුරුෂ ආශ්‍රය, කීර්තිය පැතිරයාම, තෙදවත් බව, නිර්භීත බව සහ සොම්නස් සහගත බව ආදී දන්දීමේ සන්දිට්ඨික ගුණ පිළිබඳව අපේ බෞද්ධ ධර්ම සාහිත්‍යයේ මැනැවින් දක්වා තිබේ. එසේම සීලාදි ගුණධර්ම ඇති අයට සක්දෙව් රජුන් ද නමස්කාර කරන බව දක්වා ඇති ආකාරයෙන් පෙනී යන්නේ ද ධර්මයෙහි හැසිරෙන අයට ලැබෙන සන්දිට්ඨික ප්‍රතිඵලයන් ය.
ධර්මයෙහි අකාලික ගුණය වන්නේ ධර්මයෙහි හැසිරෙන පුද්ගලයාට කල්නොයවා විපාක ලැබෙන බවයි. එනම් මාස ගණන් වර්ෂ ගණන් ගතවීමෙන් තොරව වහ වහා ලැබෙන ගුණයන්ගෙන් යුක්තවීම අකාලික ගුණයෙහි ස්වභාවයයි. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන ලෝකෝත්තර මාර්ගයන්හි විශේෂ වශයෙන්ම අකාලික ගුණය ඇතුළත්ව ඇති බව සඳහන් වන අතර ලෞකික ශාසන ධර්මයන්හිද යම් ප්‍රමාණයකට මෙය දැකගත හැකිය.
ගිහිගෙය හැරපියා සසුන්ගත වූ මොහොතේමත් ඉන් අනතුරුවත් භික්‍ෂුවක නිරාමිසව ලබන කායික, මානසික සහනය පැවිදි ජීවිතයෙහි අකාලික වූ ඵලයක් ලෙස දැක්විය හැකිය. මෙසේ වූ උතුම් දහම් ගුණ කිහිපයක් පිළිබඳව සැකෙවින් ඇතිකර ගත්තා වූ අවබෝධයත් අද දිනයෙහි වැදගත්කම සලකමින් විවිධ පුණ්‍ය ක්‍රියාවන්හි නිරතවෙමින් සිදුකරගත් පුණ්‍ය මහිමයත් හේතුවීමෙන් උතුම් නිවන් සුව සැලසේවා යි ප්‍රාර්ථනා කළ යුතු වේ.