ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වන විට 68 වැනි වියේ පසුවිය.
ඒ මහතා ශල්‍යකර්මයකට ලක් කිරීම හේතුවෙන් සති දෙකකට අධික කාලයක් කොළඹ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමූ ශ්‍රී ලාංකිකයා වන්නේ වර්ණපුරයි, ජාතික ක්‍රිකට් පුහුණුකරුවෙකු හා ක්‍රිකට් පරිපාලකයෙකු ලෙසද කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පසුගිය පෙබරවාරියේ තරග වැදීමට නාමයෝජනා ලබාදී පසුව ඉවත්වූ කණ්ඩායමටද අයත්විය.
බන්දුල වර්ණපුර උපන්නේ 1953 මාර්තු 1 වන දින රඹුක්කනදී ය.
ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. බන්දුල 1971 දී කොළඹ නාලන්දා විද්‍යාලයේ පළමු XI ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීය.
වර්ණපුර අයිසීසී තරග තීරකවරයෙකු ලෙස සහ විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇති අතර සහතික ලත් ක්‍රිකට් පුහුණුකරුවෙකු ද වේ. ඔහු 1994 දී පුහුණු අධ්‍යක්ෂක ලෙස පත් වීමට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.
ඔහු 2001 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්යක්ෂවරයා විය.2008 දී ඔහු ඉල්ලා අස්වීමට පෙර වසර අටක් එම තනතුරේ කටයුතු කළේය.
ඔහු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවර්ධන කළමනාකරු ලෙස අවසන් වරට කටයුතු කළේය.දැනට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මලින්ද වර්ණපුර ඔහුගේ ඥාතී පුතෙකි.
වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතියකු පැවැසීය.