1948 පෙබරවාරි 4 දින නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ලංකාවේ රාජ්‍ය පාලන ව්‍යුහයේ ඇති වු වෙනස්කම් වලට මුහුණ දෙමින් ඒවායේ සුභ සහ අසුභ ප්‍රතිඵල භුක්ති විදිමින් තමාටත්, පොදුවේ රටටත් සමෘද්ධිය, සෞභාග්‍ය සාමය, සංහිදියාව අපේක්ෂා කරමින් එම පාලන යුගයන්හි බලපැවැත්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන්ට අනුව ඒ සඳහා වන අගමැතිවරයෙක්/ ජනාධිපතිවරයෙක්/ පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමේ සිහින කරපින්නා ගනිමින් ස්වකීය ඡන්ද අයිතිය භාවිතා කළ ශ්‍රී ලංකාවාසි ජනතාව 2019 නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ ද එවැනි අපේක්ෂාවන් සමූහයක් ඉටු කර ගැනීමේ සිහින සමඟින් වන බව අවිවාදාත්මක කරුණක් වන්නේය.
ජනාධිපති සටනේ ප්‍රධාන පක්ෂ වලින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බැලිමේදී ද සමස්ථ අරමුණ වී ඇත්තේ සාමය, සංහිදියාව මූලික කර ගත් සමාජ ආර්ථික, දේශපාලනික සංස්කෘතික යන සියලු අංශ වලින් සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වගකීම භාර ගැනීම සඳහා ජනතාව හමුවේ සිදුකර ඇති සඵථ කිරීම්ය.
ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් බලගන්වා ඇති මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට එම ප්‍රතිපත්ති ප්‍රකාශ වල සඳහන් වන්නා වු සියලු ප්‍රතිපත්ති නීති, වැඩසටහන්, ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් බවට පත් කර එහි ප්‍රතිඵල ජනතාවට භුක්ති විඳ ගැනීමට ඉඩ සැලැස්වීම පත්වන රජය විසින් ඉටුකළ යුතු අනිවාර්යය කරුණක් වේ. මෙම ක්‍රියාදාමයේ දී මෙරටේ පෞද්ගලික අංශයට පැවරෙන කාර්යයන් හා වගකීම් තිබෙන අතර ප්‍රධාන කාර්යභාර්ය හා වගකීම පැවරෙන්නේ රාජ්‍ය සේවයටයි. එයට හේතුව අපගේ රටේ රාජ්‍ය, පෞද්ගලික සහසම්බන්ධයෙන් ඉටුවන සේවා සම්පාදනය, පෞද්ගලික අංශයට සෘජුව පැවරෙන සේවා සම්පාදනයට වඩා මිනිසාගේ උපතේ සිට මරණය දක්වා අවශ්‍ය බොහෝ සේවාවන් සම්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය සේවය වන නිසාවෙනි.
2019 නොවැම්බර් 16 වන දින රාජ්‍ය පාලනයේ වගකීම භාර ගන්නා ජනාධිපතිවරයා ඇතුළුව රජයට රටේ සංවර්ධනයට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශ කෙරෙහි ජනතාව තැබු බලාපොරොත්තු ඉටුකර දීමේදී පවතින රාජ්‍ය සේවා යාන්ත්‍රණය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමෙන් එම අරමුණ සාක්ෂාත් කර ගත හැකි ද යන අභියෝගය පිළිබඳ සලකා බැලිය යුතුය. මෙම ලිපියෙන් උත්සහ කරනුයේ ඒ පිළිබඳව කිසියම් වු අවධානයක් යොමු කර වීමටයි.
ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ සංයුතිය සකස් වී ඇත්තේ සේවා කාණ්ඩ මාලාවකින් යුක්තවය. මෙම සියලු සේවා කාණ්ඩ වල මූලික අපේක්ෂාව වනුයේ මහජන සේවාව සපයමින් රජයට සහය වීමයි.
1948 වර්ෂයේදී නිදහස ලබා ගත් පසුව 1987 දක්වා මධ්‍යගත පරිපාලන ව්‍යුහයක් තුලින් රාජ්‍ය සේවා සම්පාදනය වු අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අංක 42 පලාත් සභා පනතින් 1987 දී පලාත් රාජ්‍ය සේවය ස්ථාපිත කරනු ලැබීය.
කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව 2019 වසර මාර්තු 31 වන විට රාජ්‍ය අංශයේ කාර්යය මණ්ඩල සංයුතිය (දැනට රාජ්‍ය සේවයේ යෙදී සිටින) අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ත්‍රිවිධ හමුදාව 730,248, පලාත් රාජ්‍ය සේවය 398,648, රජයේ ව්‍යවස්ථාපිත ආයතන 232,858, විශේෂ වියදම් ඒකක 11,212 ඒ අනුව මුළු එකතුව 1,372,966 වේ.
රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමත කර තිබෙන සංඛ්‍යාව 1,588,240 ක් වේ. මේ අනුව තත්‍ය රාජ්‍ය නිලධාරී සංඛ්‍යාව හා අනුමත සංඛ්‍යාව සසඳා බැලීමේදී 2019.03.31 වන විට පැවති පුරප්පාඩු සංඛ්‍යාව 215,274 ක් බව නිරීක්ෂණය වේ. එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව 2019 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 21 ක් පමණ වේ යැයි ඇස්තමේන්තු ගත කර ඇති අතර ලෝක ජනගහණ සංඛ්‍යාව පදනම් කර ගතහොත් රටවල් අතර 58 වෙනි තැන ශ්‍රී ලංකාවට හිමි වී ඇත.
ඉහත දැක්වු පරිදි වාර්තමාන රාජ්‍ය සේවයේ නියුතු සංඛ්‍යාව රටේ මුළු ජන සංඛ්‍යාව සමඟ සසඳා බලන විට රාජ්‍ය සේවක පුරවැසි අනුපාතය දළ වශයෙන් එක් පුරවැසියකුට රාජ්‍ය සේවකයින් 15 ක් වේ. ශ්‍රී ලංකාව පිහිටි කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳා බලන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය විශාල සංඛ්‍යාවකින් යුක්ත වන එකක් බව පැහැදිලි වන අතර රාජ්‍ය සේවා පුරවැසි අනුපාතය ද ඉහළ අගයක් ගනී.
1948 වර්ෂයේ නිදහසින් පසු 71 වසරක් පසු කරමින් සිටින ශ්‍රී ලංකාව සමාජ ආර්ථික සංවර්ධනයේ විවිධ අංශ වලින් සාර්ථකත්වයන් රැසක් හිමිකර ගෙන සිටින අතර ඒ ජයග්‍රහණ ලඟා කර ගැනීමට ඉවහල් වු රාජ්‍ය ප්‍රතිපත්තී නීති සහ වැඩසටහන්, ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රාජ්‍ය සේවය ඊට අවශ්‍ය සහය ලබා දී ඇත.
අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් සංවර්ධනය, සහ සමාජ සංවර්ධනය ඇතුළු ජන ජීවිතයට බලපාන ප්‍රධාන ව්‍යාපෘතීන් රැසක් මේ අතර තිබේ. පසුගිය වසර 71 තුල ගෝලීය වශයෙන් ඇති වු ධනාත්මක වෙනස්කම් වලට අනුගත වෙමින් අභියෝගය ද ජයගෙන යුග කිහිපයක් පසු කරමින් ජනතා හිතවාදී සේවයක් සැපයීම උදෙසා වන නව්‍යකරණයන් හඳුන්වා දෙමින් ගුණාත්මක සේවාවක් සැපයීම උදෙසා රාජ්‍ය සේවය කටයුතු කර තිබෙන බවට තහවුරු කල හැකි නිදර්ශන බොහොමයක් ඇත.
විසිවන සියවස උදාවීමත් සමඟ ගෝලීය වශයෙන් වේගවත්ව ඇති වු සමාජ ආර්ථික සංසිද්ධීන් හමුවේ මිනිස් අවශ්‍යතාවයන් ද වැඩිවෙමින් සංකීර්ණ වු බව අප දන්නා කරුණකි. සන්නිවේදන ක්ෂේත්‍රයේ මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති වු නව ප්‍රවණතාවයන් නිසා විශ්ව ගම්මාන සංකල්පය තුල ලංකාවට ඒ වෙනස සමඟ ඉදිරියට ගමන් කිරීමේ අවශ්‍යතාව තහවුරු කරන අභියෝගයට මුහුණ දීමට සිදුවිය.
ජනතා අපේක්ෂාවන් ඉටුකරමින්, රට තුල සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ඇති කරමින් දුප්පත්කම පිටු දැක, දළ දේශීය නිෂ්පාදිත අගය ඉහළට ගෙන එමින් ඒක පුද්ගල ආදායම ඉහළ දැමීම සඳහා පසුගිය දශක තුල විවිධ ක්‍රමෝපායන් අනුගමනය කර තිබුණත් දකුණු ආසියාතික කලාපයේ අපට පෙර නිදහස ලබා ගත් රටවල් සමඟ සසඳා බලන විට අප තවමත් සංවර්ධන අරමුණු කරා ළඟා වීමේ පසුගාමී තත්වයක සිටින බව පැහැදිලිය.
රාජ්‍ය පාලන තන්ත්‍රයේ දී පසුගිය කාල පරිච්ඡේද වල පත්වු රජයන් අනුගමනය කල සමහර ප්‍රතිපත්ති සහ ක්‍රමවේද නිසා රාජ්‍ය සේවය ද දේශපාලනීකරණය වු බව නොරහසකි. දේශපාලනික උවමනාවන් මත තනතුරු ඇති කිරීම, බඳවා ගැනීම් කිරීම, සුදුසු පුද්ගලයින්ට නිසි තනතුරු නොදීම, දේශපාලන පළිගැනීම් නිසා ස්ථාන මාරු කිරීම, රාජ්‍ය සේවයෙන් ඉවත් කිරීම වැනි රාජ්‍ය සේවයේ පැවැත්මට, ගුණාත්මකභාවයට හා පිළිගැනීමට හානිකර බොහෝ සෘණාත්මක සංසිද්ධීන් වලට රාජ්‍ය සේවය ගොදුරු වී එහි යහපැවැත්ම බිඳ වැටුණු බවද නොරහසකි. මෙම තත්වය නිසා රාජ්‍ය සේවය සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය වී එනම් අද වන විට එක් පුරවැසියකුට 15 දෙනෙකු වන අනුපාතයට වැඩි වුවත් පුරවැසියාගේ දෘෂ්ඨි කෝණයෙන් බලන විට සේවා සම්පාදන ක්‍රියාවලියේ ගුණාත්මක වර්ධනයක් සමස්ථ වශයෙන් අත්පත් කර ගැනීමට අපොහොසත් වී ඇති බව පැහැදිලි වන සත්‍යයකි.
රාජ්‍ය සේවයක් සලසා ගැනීමේදි පුරවැසියාගේ දෘෂ්ටි කෝණයෙන් විශ්ලේෂණය කරන විට, දිගු පෝලිම් වල රැඳී සිටිමට සිදුවීම, තම සේවාව තමාට ලබා ගැනීමට හැකිවන දිනය නිශ්චිතව දැන ගැනීමට නොහැකි වීම, එක් සේවාවක් ලබා ගැනීමට ආයතන කිහිපයකට යාමට සිදුවීම, අල්ලස් දීමට සිදුවීම, අනවශ්‍ය පරිදි ආකෘත්‍රි පත්‍ර රැසක් පිරවීමට සිදුවීම, රාජ්‍ය අංශයෙන් සේවාව ලබා ගැනීමට දේශපාලනඥයකුගේ සහය පැතීමට සිදුවීම, නිලධාරීවාදයට හසුවීම යනාදි දුර්වලතා රාජ්‍ය සේවය තුල තිබෙන බව සාමාන්‍ය පුරවැසියාන් 100 දෙනෙකුගෙන් රාජ්‍ය සේවය පිළිබඳව විමසා සිටියහොත් එයින් 99 දෙනෙකුම ඉහත ලක්ෂණ සියල්ලම හෝ කිහිපයක් රාජ්‍ය සේවය තුල පවතින බවට සාක්ෂි දරණු ඇත.
තවද, විශ්වසනීයත්වය, කණ්ඩායම් හැඟීම, අවංක බව, ආචාරශීලී බව, වගවීම, නිර්මාණශීලි බව, ප්‍රතිචාර දැක්වීම ගෞරවාන්විත බව යනාදී රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් සේවාලාභියා වෙත හෝ පාරිභෝගිකයා වෙත ප්‍රදානය කරන්නා වු මුලික වටිනාකම් (Core – Values) ද බොහෝ රාජ්‍ය සේවා ආයතනයන් තුලින් නොලැබෙන බවට සාමාන්‍ය ජනතාවගේ මෙන්ම පෞද්ගලික අංශයෙන්ද එල්ල වන විවේචනයන්ද තිබේ. අවාසනාවන්ත තත්ත්වය නම් රාජ්‍ය සේවයේ යහපැවැත්මට අහිතකර වු ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු ක්‍රමෝපායන් තීරණය කළා වු දේශපාලන අධිකාරියේ බොහෝ දෙනාගෙන් ද රාජ්‍ය සේවයට එල්ල වන්නේ චෝදනාවන්ය.
1980 වර්ෂයේ ජූලි වැඩ වර්ජනයේදී රජය විසින් වර්ජකයින් වෙත දැක්වු ප්‍රතිචාර නිසා රාජ්‍ය සේවයේ පැවති ස්වාධීනත්වය මෙන්ම අයිතිවාසිකම් පිළිබඳ කථා කිරීමට තිබු නිදහසත් සහ ඒකාග්‍රතාවය බිඳවැටී වැඩ වර්ජනයෙන් ඉවත් කල පිරිස වෙනුවට දේශපාලනයේ මැදිහත් වීමෙන් රාජ්‍ය සේවයට එක් වු නුපුහුණු පිරිස නිසා ඇති වු පසුබිමත් සහ අනතුරුව ක්‍රියාත්මක වු සමහර තීරණ නිසා දේශපාලනික මැදිහත්වීම් වැඩිවීම, නිදහසේ තීරණ ගැනීමට ඉඩකඩ සීමා සහිත වීම, සුදුස්සන්ට සුදුසු තැන නොලැබීම, සේවා ඇගයීමක් නොමැති වීම, සේවා වරප්‍රසාද සමානව නොලැබීම, සේවා උසස් වීම් නිසි වේලාවට සිදු නොවීම යනාදි රාජ්‍ය නිලධාරීන්ගේ කලකිරීම, පසුබෑම සඳහා බලපාන අවාසනාවන්ත කරුණු රැසක් රාජ්‍ය සේවයේ පිරිහීමක් හෝ පසුබෑමක් ඇත්නම් ඒ සඳහා බලපා ඇති බව රාජ්‍ය සේවකයාගේ පැත්තෙන් කරුණු දක්වන අවස්ථා ද ඇත.
සමස්ථ වශයෙන් රාජ්‍ය සේවාව තුලින් මෙවැනි තත්වයක් විද්‍යාමාන වුවද මහජන සේවය සැලසීමේදී රාජකාරිය රාජකාරියට පමණක් සීමා නොකර තමාට පැවරෙන වගකීමට අමතරව ද වගකීම් පවරා ගනිමින් මහජනතාවට හිතකර සේවයක් සලසන්නා වු රාජ්‍ය සේවයේ විවිධ සේවා කාණ්ඩ වල තනතුරු දරන්නන්, වෘත්තීයවේදීන් සිටින බවද රහසක් නොවේ. “ඝණ අඳුරට සාප කරනවාට වඩා එක් පහනක් දැල්වීම වටිනේය” යයි සලකා ආත්මාභිමානයෙන් යුතුව අපක්ෂපාතීව විවිධ වු ස්ථාන වල සේවය කරමින් නිලධාරීන් සමුහයක් ඉහත ආකාරයට ජනතා හිතවාදී සේවයක් සැලසුවද එක් පහනකින් ඝන අඳුර සම්පුර්ණයෙන් ඉවත් නොවන්නා සේ රාජ්‍ය සේවය පිළිබඳව සමස්ථ වශයෙන් සමාජගතව පවතින අසුභවාදී සෘණාත්මක මහජන ආකල්පද ඉවත් නොවන්නේය.
2015 වසරේ බලයට පත් වු යහපාලන ආණ්ඩුව දුෂණය පිටුදැක ජනතාවගේ සමාජ ආර්ථික සමෘද්ධිය තහවුරු කරමින් බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ රටක් බිහිකිරීම සඳහා කටයුතු කරන බවට සඵථ කරමින් එකී මැතිවරණ කාල සීමාවේදී ගෙන යන ලද මැතිවරණ ව්‍යාපාරයේදී අතීතයේ ප්‍රකාශ නොවුණු ‘යහපාලනය’ යන වචනය දේශපාලන ආකර්ශනය උදෙසා සන්නාමකරණය වෙනුවෙන් (Branding) භාවිතා කරන්නා වු වචන සමුහයට එකතු කර ගන්නා ලද්දකි.
ආරම්භයේ දී ග්‍රාමීය වශයෙන් ජීවත් වන පුරවැසියාගේ දෘෂ්ඨි කෝණයෙන් මෙම වචනය විවිධ ආකාරයට අර්ථ නිරූපණය කර ගත්තා වුවද කල්යත්ම යහපාලනය වචනය සමඟ සමුහගතව (Associated Words) සංවාදයට එකතු කල දුෂණය, නාස්තිය පිටුදැකීම, සාධාරණ සමාජයක් යන වචන සමඟ ගලපා ගැනීමෙන් යහපාලනය යනු කුමක් ද? එහි වචනයේ පරිසමාප්තර්ථයෙන් නොවුනත් සාධාරණ බව සංකේතවත් කරන වංචාව, දුෂණය, අල්ලස් ගැනීම් නොමැති රටක්/ ක්‍රමයක්/ ආයතන පද්ධතියක්/ සේවයක් යන යම් අදහසක් පුරවැසියාගේ සංජානනයේ ජනිත කර ගැනීමට හැකිවිය. මෙම ක්‍රියාදාමයේදී සෑම පුරවැසියෙකුම රාජ්‍ය සේවය පිළිබඳව බලාපොරොත්තු තැබුවේ ද කාර්යක්ෂමවුත් දුෂණයෙන්, නාස්තියෙන් තොරවුත් මහජන හිතවාදී, ඵලදායි රාජ්‍ය සේවයක් රාජ්‍ය ආයතන වලින් ඉටුවේය යනුවෙනි. එහෙත් බලාපොරොත්තු වු පමණින් මුළුමණින්ම එය එසේ වුයේද?
දියුණු වෙමින් පවතින රටක් වශයෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සහ දෛනිකව ජනතා සේවය සැපයීමේදී ප්‍රධාන යාන්ත්‍රණය වී ඇත්තේ රාජ්‍ය සේවය වන නිසාත් වසර 2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක 17 ක් අත්පත් කර ගැනීමට 2015 වර්ෂයේ එක්සත් ජාතීන් හමුවේ සඵථ කර ඇති රටක් හැටියටත්, විශේෂයෙන්ම 80% ක් වන ග්‍රාමීය ජනතාවගේ සමාජ ආර්ථික සංස්කෘතික දියුණුව සලසමින් ආසියාතික කලාපයේ දියුණු වු රටක් වශයෙන් ආර්ථික සංවර්ධනය මැනීමට උපයෝගී කර ගන්නා දර්ශක වලින් ඉහළට ඔසවා තබන්නට නම් ජාතික සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවා වන නැතහොත් යාන්ත්‍රණය වන රාජ්‍ය සේවය නව්‍යකරණයන් සහිත වු කළමනාකරණ ප්‍රතිසංස්කරණ වලට භාජනය කිරීම අනිවාර්‍ය කරුණක් බවට පත් කර ගැනීම අත්‍යවශ්‍යය.
රාජ්‍ය සේවයේ ඉතිහාසය දෙස බලන විට 1948 නිදහසින් පසු ව්‍යවස්ථා සංශෝධනයන් තුලින් අවස්ථා කිහිපයකදී දේශාපලනික ප්‍රතිසංස්කරණ ඇති වුවා සේම රාජ්‍ය සේවයේ ප්‍රගමණය උදෙසා ද කළමනාකරණ ප්‍රතිසංස්කරණ යම් යම් අවස්ථා වලදී හඳුන්වා දී ඇත. ගුණාත්මක රාජ්‍ය සේවයක් සැපයීම උදෙසා නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනයට දේශීය විදේශීය පුහුණුව ලබා දීම, 6/2006 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව සංශෝධිත සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීම් පටිපාටි තුලින් නිපුණත්වයෙන් යුතු රාජ්‍ය සේවකයන් බිහි කිරීම සඳහා විධිවිධාන සපයා තිබීම, රාජ්‍ය සේවයේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා ඵලදායිතා ලේකම් කාර්යාල ස්ථාපනය, ඊ රාජ්‍ය ව්‍යාපෘතිය, පුරවැසි ප්‍රඥප්තිය හඳුන්වාදීම, කොමිෂන් සභා ස්ථාපනය, නව කාර්යය සාධන ඇගයීම් ක්‍රමය හඳුන්වාදීම, ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, මානව හිමිකම් තහවුරු කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග, තොරතුරු දැන ගැනීමේ පනත “ජනපතිට කියන්න” වැඩසටහන ඇති කිරීම යන ධනාත්මක ප්‍රතිසංස්කරණ රැසක් මේ අතර වේ.
රාජ්‍ය සේවයේ ගුණාත්මක සේවා සම්පාදනයක් මහජනතාවට ලැබීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ කොතෙක් දුරට බලපෑමක් කර තිබේද යන්න සලකා බැලිමේදී බොහෝ විට එම ප්‍රතිසංස්කරණ ආරම්භයේදී ඒවා ක්‍රියාත්මක කර වීමේ ආකර්ශනයන් තිබුණද කාලයත් සමඟම ඒ පිළිබඳව පැවති අවධානය සමහර ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගිලිහි ගොස් ඇති බවට නිදර්ශන ද ඇත.
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථීක සංවර්ධනය පිළිබඳ දියුණු වු අනෙකුත් රටවල් සමඟ සංසන්දනාත්මකව කතා කිරීමේදී අප බොහෝ විට උදාහරණයට ගනු ලබන්නේ සිංගප්පුරුවයි.
සිංගප්පුරුවේ ආර්ථික සංවර්ධනයේ නිර්මාතෘ හිටපු අගමැතිවරයා වු ලී ක්වාන් යු මහතා ලංකාවට පැමිණි පසු කොළඹ නගරයේ එවකට පැවති දියුණු තත්වය පිළිබඳ විශ්මයට පත්ව සිංගප්පුරුව ද එවැනි රටක් බවට පත් කරන බවට කල ප්‍රකාශය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේද නිරන්තර කථා බහට ලක් වන හෙයිනුත් මැලේසියාවෙන් වෙන් වු පසුව ස්වභාවික සම්පත් පවා නොමැතිව කෙටි කාලයක් තුල ගෝලීය වශයෙන් අනිකුත් රටවල් අභිබවා යමින් සංවර්ධනය වු රටක් බවට පත්වීමේ දී අනුගමනය කළ උපාය මාර්ග බොහොමයක් ලංකාවට ද වැදගත් වන නිසාත් අපගේ රාජ්‍ය සේවය ද ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම සඳහා සිංගප්පුරු රජය අනුගමනය කළ බොහෝ උපාය මාර්ග අනුගමනය කළ හැකිව ඇති බව ඒ පිළිබඳව අධ්‍යනය කිරීමේ දී තහවුරු වේ.
සිංගප්පුරුවේ රාජ්‍ය සේවය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් ක්‍රියාත්මක කල PS 21 – Future- Oriented Reform කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහන, මුල්‍ය සහ අයවැය ප්‍රතිසංස්කරණ වැඩසටහන (Financial and Budgetary Reform ) මෙන්ම ප්‍රශස්ථ මට්ටමේ රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මහතාගේ රාජ්‍ය පාලන කාලයේ දී ක්‍රියාත්මක කල රාජ්‍ය ප්‍රතිනිර්මාණ වැඩසටහන (Government Transformation Programm) හා ලංකාවට ආසන්නයේ පිහිටි රටක් වශයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම හඳුන්වාදී ඇති තොරතුරු තාක්ෂණය පදනම් කරගත් පුරවැසියාගේ දෘෂ්ඨි කෝණයෙන් විශ්ලේෂණය කොට ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති රැසක් ද තිබෙන නිසා එවැනි යහපත් අත්දැකීම් (Best Practices) පුර්වාදර්ශයට ගනිමින් ජාතික සංවර්ධනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කාර්යක්ෂමවූත් ප්‍රතිඵල දායකවූත් රාජ්‍ය සේවයක් බිහි කිරීමට හැකියාව ඇත.
රාජ්‍ය සේවයේ සෑම ස්ථරයකටම අයත් නිලධාරීන්ගේ නිපුණතාවයන් සංවර්ධනය කිරීම උදෙසා අවශ්‍ය වන දැනුම ලබා ගැනීමේ අවශ්‍යතාවය ද බඳවා ගැනීමේ පටිපාටි සහ සේවා ව්‍යවස්ථාවන් මගින් අවධාරණය කර ඇති නිසාත්, අධ්‍යාපන අංශයට අදාළව පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම පුහුණු ආයතන මගින් ද ධාරිතා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන පුහුණු පාඨමාලා හැදෑරීමට නිදහස් අවකාශයක් සලසා ඇති නිසාත් අ.පො.ස. (සා.පෙළ) සිට පශ්චාත් උපාධිය දක්වා අධ්‍යාපනික සුදුසුකම්ලත් විශාල රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාවකින් රාජ්‍ය සේවය පොහොසත්ව ඇත. මේ නිසා පිරිසිදු හා සාඵල්‍යයෙන් (Clean and Effective) රාජ්‍ය සේවා යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම උදෙසා මෙහෙය වීමට අවශ්‍ය මානව සම්පත් විභවතාවය රාජ්‍ය සේවාව සතුව ඇත.
සිංගප්පුරුවේ දියුණුව උදෙසා සිංගප්පුරු රජයේ පරිවර්තන ක්‍රියාවලිය 3D සංකල්පයකට අනුව සිදු වී තිබෙන බව පැහැදිලිය. එනම් විනය ස්ථාපනය කිරීම (Discipline) සංවර්ධනය (Development) ජ්‍රජාතාන්ත්‍රික බව (Democratic) යන්නයි. මෙම මූලධර්ම තුන අතර මනා පාලනයක් සහ සම්බන්ධීකරණයක් ඇති කිරීම උදෙසා වන උපායමාර්ග රැසක් සිංගප්පුරු රජය ජාතික සංවර්ධන ක්‍රියාදාමයේ දී ක්‍රියාත්මක කර ඇත.
මැලේසියාවෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් බවට පත් වීමේදී මුහුණ දීමට සිදු වු සියලු අභියෝගයන් ජයගෙන ජාතික සංවර්ධනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සිංගප්පුරු රජය අවධාරණය කල කාරණයක් වුයේ රට සංවර්ධනය කිරීමේදී දේශපාලනික අපේක්ෂාවන් අන්තර්ගත වු ප්‍රායෝගිකවූත්, සාර්ථකවූත් ප්‍රතිපත්තීන් (Viable Policies) ශක්තිමත් ප්‍රතිඵල (Concrete Results) බවට පරිවර්තනය කල හැකි එකම මෙවලම වන්නේ තම රාජ්‍ය සේවය වන බවයි.
එකී නිවැරදි තේරුම් ගැනීම මත දේශපාලනික නායකත්වය සහ සිවිල් සේවා නිලධාරීන් අතර ශක්තිමත් අන්‍යෝනය සහයෝගීත්වය ගොඩ නැගීමට තීරණය කිරිම සිංගප්පුරු රාජ්‍ය සේවා කළමනාකරණ ප්‍රතිසංස්කරණ වල මූලික සිද්ධාන්තය කර ගෙන තිබෙන බව ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.
එම සිද්ධාන්තය පදනම් කර ගෙන සිංගප්පුරු රජය විසින් ජාතික සංවර්ධන වැඩසටහනේ දී මූලික ජාතික ප්‍රතිපත්ති ලෙස හඳුන්වාදුන් ආර්ථීක උපායමාර්ග සහ මැදිහත්වීම් (Economic Strategies and Intervention) මධ්‍යම අර්ථ සාධක අරමුදල (Central Provide Fund), නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව (HDB), අධ්‍යාපනික ප්‍රතිපත්ති සහ මිනිස් බල සැලසුම්කරණ (Education Policies and Manpower Planning), සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම (Health Care System) යන ප්‍රධාන ජාතික ප්‍රතිපත්ති (Key National Policies) සමඟ සංවර්ධන අරමුණු ඉටු කිරීමට රාජ්‍ය සේවය පෙළ ගැස්වීම (Aligning the Bureaucracy with Development Goals), දූෂණය පිටු දැකීම උදෙසා අවශ්‍ය සේවා සම්පාදන ක්‍රියාවලිය තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නව්‍යකරණයට ලක් කිරීම (Use of Information Technology in Modernizing Administrative System) යනාදි කළමනාකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ඇත.
සිංගප්පුරු රජය විසින් අනුගමනය කල රාජ්‍ය සේවා කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය තුලින් අප වැනි රටවල් වලට උගත හැකි පාඩම් අතර රාජ්‍ය සේවයේ විනිවිදභාවය වෙනුවෙන් නිර්මාණය කළ කොන්දේසි (Creating Conditions for Public Service), රාජ්‍ය සහ පුරවැසියා අතර සහයෝගය ඇති වන ආකාරයෙන් හා සඵලදායි රාජ්‍ය සේවයක් ලබා ගැනීම සඳහා වු බලපෑමක් පුරවැසියාට ද ඇති කල හැකි වන ආකාරයට නිර්මාණය කල සේවා ක්‍රියාත්මක කිරීමේ සංස්කෘතිය (Operating Culture) වැනි ඔවුන් භාවිත කල උපායමාර්ගික කළමනාකරණ ප්‍රතිසංස්කරණ බොහොමයක් ශ්‍රී ලංකා රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භාවිතාවට ගත හැකි බව ඒ පිළිබඳ අධ්‍යනය කිරීමෙන් සනාථ වේ.
1948 න් පසුව රට තුල ඇති වු දේශපාලනික ව්‍යුහාත්මක වෙනස්කම් වලින් ජනිත වු අභියෝගයන්ට අමතරව ඇති වු ජන අරගල, තිස් වසරක යුද්ධය මෙන්ම පාරිසරික වශයෙන් ඇති වු සුනාමිය හා අනෙකුත් බරපතල වු ආපදා කළමනාකරණ තත්වයන් සහ ගෝලීය වශයෙන් වර්තමානයේදී සහ අනාගතයේදී මුහුණ දීමට සිදුවන ගෝලීය උෂ්ණත්වය වැඩිවීම වැනි මිනිසාගේ පැවැත්මට හිතකර නොවන පාරිසරික තත්ත්වයන් ලංකාවේ ස්ථාවර වු ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බලපෑ සහ බලපාන්නා වු අභියෝගයන් වේ.
ජන වර්ග කිහිපයක් ජීවත් වන රටක් වශයෙන් වර්තමානයත් අනාගතයත් සලකා බලන විට ගෝලීය මට්ටමේ වෙනස් වීම් නිසා මුහුණ දීමට සිදුවන ආපදාකාරී තත්ත්වයන්, ජාත්‍යන්තරව බිහිවන අන්තවාදී කණ්ඩායම් වල බලපෑම, නොබෙදෙන රටක් තුළ සාමය සංහිදියාව ඇති කිරීමේදී රට තුල ඇතිවන විවිධ මතවාද හමුවේ මෙන්ම සෞඛ්‍ය හා සමාජ ගැටලු වැනි විවිධ වු අභියෝගයන් මැද මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂා කරමින් වර්තමානයේ ජීවත් වන බාල තරුණ වැඩිහිටි ජනතාවගේ මෙන්ම අනාගත පරම්පරාවේද අයිතීන් සුරක්ෂා කිරීම උදෙසා අතීතයට වඩා ප්‍රබල වෑයමක් දැරීමට රජයන්ට සිදුවනු ඇත.
එහිදි රටේ දේශපාලනික ස්ථාවර බව ඉතාමත් වැදගත් සාධකයක් විය යුතු අතර අනාගතය පුරෝකථනය කරමින් ජනතාවගේ සමාජ ආර්ථික සංස්කෘතික සුබසිද්ධිය වෙනුවෙන් සකස් කල දිගු කාලීන වු ප්‍රතිපත්තීන් හා වැඩසටහන් සම්පාදනය කිරීම ද අවශ්‍ය කරුණකි. මෙහිදි රජයක් වශයෙන් සකස් කරන්නා වු එකී ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමේලා රාජ්‍ය සේවයට පැවරෙන වගකීම්, කාර්යභාර්ය මැනවින් අර්ථකථනය කරගෙන පුරවැසියාගේ අපේක්ෂාවන්ට ඉටුවන ආකාරයේ සේවා සම්පාදනය සැලැස්වීමට නම් ලෝකයේ තොරතුරු තාක්ෂණයේ ඇති වී ඇති නව ප්‍රවණතා ද ආදේශ කොට රාජ්‍ය සේවා යාන්ත්‍රණය නව්‍යකරණය කිරීම පිළිබඳ අවධානය යොමු විය යුතුය.