Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රජු පළවා හැරි එ.ජා.ප යට දොරටු පාලකයා පළවා හැරීම අභියෝගයක් නොවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වර්ෂ දෙදහස් පහළොවේදී රජතුමන් පළවා හැරි එක්සත් ජාතික පක්ෂයට දොරටු පාලකයා පළවා හැරීම අභියෝගයක් නොවන බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටි මහින්ද රාජපක්ෂ වසර දෙකකට ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ බලය අත්හැරීමට නොව බලයට ඇති කෑදරකම නිසා යැයි මහනුවර හීරැස්සගල දී පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයක් නොතබා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා  දිගටම බලයෙහි රැදී සිටියේ නම් අනිවාර්යයයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව සම්භාධක පැනවෙනු ඇතැයි කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී පැහැර ගැනීම්, මනුස්‍ය ඝාතනය කිරීම් ආදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් රැසක් සිදුවුණා. මාධ්‍යවේදීන්ට නිදහසේ රාජකාරී කිරීමට හැකියාවක් ලබා දුන්නේ නැහැ. අගවිනිසුරුවරිය ගෙන්වා පැය විසිහතරක් තුළදී ඇය තනතුරින් ඉවත් කළා. වෘත්තීය සමිති හා එහි නායකයන් මර්ධනය කළා. රතුපස්වල ජනතාවට ජලය ලබාදීම වෙනුවට ඔවුන්ට වෙඩි තැබුවා.




ඕනෑම රටක සොරකම්, මිනිමැරුම් සිදුවෙතත් ඒවා ආණ්ඩුවට මෙහෙයවන්න බැහැ. මේ නිසා ශ්‍රී ලංකාව පිළීබදව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දී යෝජනා රැසක් ඉදිපත්වී සාකච්ඡා වුණා. නීති විරෝධී කාර්යයන් අත්හිටුවීමට ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ නම් සම්භාධක පනවන බවට බලවත් රටවල් අනතුරු හැගවීම් රැසක්  කළා.

නමුත් අද අපේ ආණ්ඩුවේ කුමන අඩුපාඩුකම් පැවතුණත් ආණ්ඩුව මිනී මරන්නේ නැහැ. අතුරුදහන් කිරීම් කරන්නේ නැහැ. ශිලාචාර ශිෂ්ඨ ආණ්ඩුවක් අපි යටතේ පවතිනවා. ඒ නිසා ආරක්ෂක අංශ පවා අපිට ඡන්දය ලබා දීමට සූදානමින් ඉන්නවා. ඉකුත් පාලන සමයේදී නීති විරෝධී කාර්යයන් කරන්න කියා එදා පාලනය බලපෑම් කළ බව ආරක්ෂක අංශ නිලධාරීන් අද පවසනවා.

අද මාධ්‍යවේදීන්ට අපේ ආණ්ඩුවෙන් කිසිදු තහංචියක් නැහැ. ඔවුන්ට නිදහසේ, ස්වාධීනව රාජකාරී කරන්න පුළුවන්. නමුත් බොහෝ මාධ්‍ය ආයතන අද අපෙත් සමඟ අමනාපවී සිටිනවා. රට පිළිබදව නොව පුද්ගලික න්‍යාය පත්‍ර අනුව ක්‍රියාකරන මාධ්‍ය ආයතන තිබෙනවා. එවැනි මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍රය නොවැම්බර් මස දහසය වැනි දිනින් පසු පරාජය කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Scroll to Top