ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යම් අයුරකින් ජනාධිපති බවට පත් වුවත් එම ආණ්ඩුව ඉදිරියට ගෙනයාම මහත් ගැටලුවක් වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා ජනපතිධූරයට පත්වන විට තමන් අගමැතිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමත්, ප්‍රතිපත්ති ප්රකාශනය එළි දැක්වීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව න්‍යාය පත්‍රයෙන් කපා දැමීමට සජිත් ප්‍රේමදාස මහතා ක්රියාකිරීමත් මගින් දෙපාර්ශවයේ අර්බුදය මැනවින් හෙළි වන බව මහනුවර දී පැවැති ජන හමුවකදී මන්ත්‍රීවරයා සදහන් කළේය.
එවැනි තත්ත්වයක් යටතේ රට කරවීම මහත් අර්බුදයක් වනු ඇතැයි කී හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා මෙසේ ප්‍රකාශ කළේය.
එක් අරමුණක් කරා යාමට ශක්තියක් හා පරිපාලන හැකියාවක් මෙම නායකයන් සතු විය යුතුයි. ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය, සේනාධිනායකයන්, යුද හමුදාව ආදී සියලු දෙනා එක් ගමනක් යන්නේ නම් පමණයි රට දියුණු කළ හැක්කේ. නමුත් රනිල් හා සජිත් හබය ඉදිරියට පැමිණීම නිසා ඔවුන්ට ජය ගැනීමට නොහැකි බව මනාව ඔප්පුවී තිබෙනවා.
ලංකා ඉතිහාසයේ නායකයෙකු ලෙස විශාලතම මුදලක් සොරකම් කළ පුද්ගලයා වන්නේ රනිල් වික්රමසිංහයි. මහ බැංකුව කොල්ලකෑම හා විශාල මූල්‍ය අපරාධ පිළිබදව ඔහුගේ නම ඉතිහාසගත වෙනු ඇති.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මහනුවර දී එළි දැක්වීමේ උත්සවයේදී කළ යුතු කථා හතරක් න්‍යාය පත්‍රයේ තිබුණා. එනම් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල සහ වික්ටර් අයිවන් යන මහත්වරුන් කථා පැවැත්වීමට නියමිතව සිටියා. නමුත් එහිදී සජිත් ප්‍රේමදාස කොළය ගෙන රනිල් වික්‍රමසිංහගේ නම කපලා දැමුවා.
අගමැති ලෙස පත්වීමට අපේක්ෂාවෙන් සිටින අයගේ නම පත්වීමට අපේක්ෂාවෙන් සිටින ජනපති විසින් පෑනක් ගෙන කපා දමනවා. මේ දෙදෙනාට එක්ව වැඩ කිරීමට නොහැකි බව අපට දැන් තහවුරු වී හමාරයි.
ජනපති වූ විට පක්ෂ නායකත්වය සහ අග්‍රමාත්‍යධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී තිබෙනවා. එහි කැබිනට් මණ්ඩලයට රවී කරුණානායක මහතා ඇතුලත් වෙනවා.
අලි බබා සහ හොරු හතළිහට පස්සේ මෙවැනි කණ්ඩායමක් ලංකා ඉතිහාසයේ තබා ලෝක ඉතිහාසයේවත් ඇති වී ඇතැයි මම විශ්වාස නොකරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.